2014/04/07

පාළුවට හිතට නැගුණු කවි පද .......

නුඹ සිහියට නැගෙනවා .....
නෙතට කඳුළු නැගෙනවා ....
මට තනිකම දැනෙනවා ...
සිත තනිවම හඬනවා .....


සිහින දකිමි නුඹ ගැන මං
සැබෑ නොවන බව දැන දැන
අඳුර පමණි මගෙ දිවියට
පාට සිහින කොයිබින් දෝ ....


නුඹට දුරින් ඉදන් .....
ආල සිතක් පහළ කරන් ....
රහසේ ඉකිබිඳ හඬමින් 
සුසුම් හෙලමි මං .......


ආල සිතුවිලි පහල නොවියන් .....
හිතට .. බර හන්දා .......
කඳුළු බිංදු තව වැටියන් ......
නෙතට.. බර හන්දා ....
තනිකම ලග රැදියන් .........
තනියට කෙනෙකු නැති හන්දා .....




(ප.ලි. සෙනසුරාදා පංතියේ ඉද්දි කම්මැලි කමට හිතට නැගුණු කවි ටිකක් ලිවා. එයින් කිහිපයක් විතරක් ලිව්වා. එක දිගට කියවන්න පුළුවන් කවි පෙළක් නෙවේ. මගේ පිස්සු විකාර ටිකක් .... හැමදාමත වගේ)

2014/03/29

පුංචි කාලේ කතන්දර .....

කාලෙකට පස්සේ දුවිලි ගසා දාලා මේ පැත්තේ ආවා. අද පැයක් විතර දාඩිය පෙර පෙරා රෙදි අයන් කලා. ඒ වෙලාවෙ පුංචි කාලෙ කියෙව්ව කතා පොතක කතාවක් මතක් වුනා. පොතේ නම මතකත් නැහැ කතාව හරියටම මතකත් නැහැ. ඒත් සාරංශය මතකයි වගේම පොතේ රූප මතකයි.

මෙහෙමයි කතාව. මේක චීන කතාවක් මතක විදිහට.

අම්මා කෙනෙක් ඉන්නවා එයා හරිම කලබලයි. එයාට ඉන්නේ පුංචි බබෙක් එයා හරිම ලස්සනයි වගේම බෝල ගෙඩියක් වගේ. දවසක් මේ අම්මාට එයාගේ ගෙදරින් පණිවිඩයක් එනවා එයාගේ අම්මාට සනීප නැහැ කියලා. ඉතින් කලබලවුන අම්මා උදේ පාන්දරම කලුවරේම යන්න පිටත් වෙනවා. එයා කලබලෙන්ම නිදන් ඉන්න පුංවි බබාව රෙද්දකින් ඔතලා අරන් යනවා.

මෙයා මෙහෙම කලුවරේ යද්දි පුහුල් වත්තක් පහු කරන් යන්න තියෙනවා. මෙහෙම ඒ මැදින් යද්දි වැලක කකුල පැටලිලා වැටෙනවා. බබාව රෝල් වෙලා යනවා. කලබලෙන් අයෙම රෙද්දෙන් බබාව ඔතා ගන්නවා. මෙහෙම කොහොම හරි එයාගෙ අම්මා බලන්න එයා යනවා.

ඉතින් එහෙට ගිහින් දැන් හැමෝම පුංචි බබා බලන්න ලෑස්ති. අම්මා බබාව ඇද උඩින් තියලා බබාව ඔතලා තිබුණ රෙද්ද දිගෑරියා. හැමෝම උඩට ගත්ත හුස්ම පහලට හෙලන්න බැරිව වට වෙලා ඉන්නවා. රෙද්දෙන් ඔතලා තිබුණෙ බබා වෙනුවට හොඳ ලොකු පුහුල් ගෙඩියක්.

අම්මා ආයෙමත් කලබල වෙලා දුවනවා පුහුල් වත්තට බබා හොයන්න පුහුල් ගෙඩියත් අරන්. එතනට යද්දි දකිනවා රෝල් කොට්ටයක් තියෙනවා. අම්මා පුහුල් ගෙඩිය එතන දාලා ගෙදර දුවනවා කොට්ටෙත් අරන්. අම්මා ගෙදර යද්දි  පුංචි බබා හිනාවෙවි තොටිල්ලෙ නිදි.

ඒක තමා කතාව. මට නම මතක නැහැ. ලස්සන රූප තියෙන පොතක්. රූපනම් අදටත් මතකයි. කතාවේ පොඩි පොඩි තැන් වෙනස් ඇති. ඒත් මම ආසම කතාවක් ගොඩ කාලෙකට පස්සේ මතක් වුන.

2013/09/06

දුර නොබලන්...... ලඟ බලන් .......


අතිගරු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් අනුව රට වටා පාසල් 1000 ද්විතික පාසල් ලෙස සංවර්ධනය කිරිමට ආරම්භ කලා. මෙම පාසල් 1000 ට සියලුම පහසුකම් සහිත නවීන පරිගණක විද්‍යාගාරයක්, විද්‍යාගාරයක්, ගණිතාගාරයක්, සහ Multimedia Unit එකක් වැනි පහසුකම් ලබාදෙනවා. මීට අමතර පහසුකම් ලබා දෙනවා. එපමණක් නොවේ පාසලට අවශ්‍ය කරන මානව සම්පතද ලබාදෙනවා.

විශේෂත්වය වන්නේ පාසලේ තිබෙන 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා වෙනත් පාසලක් වෙත ගෙනයාම. ඇතැම් පාසල් වල මෙය සිදුකරනුයේ 1 ශ්‍රේණියට බදවා ගැනීම නතර කිරිමෙන් ක්‍රමක් ක්‍රමයෙන් 1 - 5 ශ්‍රේණි ඉවත් කෙරේ.

අපේ පාසලත් මෙලෙස ද්වීතික පාසලක් ලෙස සංවර්ධනය කිරීමට යෝජිතව තිබුණි. නමුත් දෙමාපියන්ගේ සහ ගුරුවරුන් බහුතරයකගේ තාවකාලික අරමුණු නිසා මෙයින් පාසල ඉවත් කරගෙන තිබෙනවා. තම බාල දරුවන් පාසලට ඇතුලත් කරගැනීමට නොලැබෙන නිසා දෙමාපියන් මෙම යෝජනාවට විරුද්ධ වුනා.

 ඇතැම් ගුරුවරුන් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව මෙ යෝජනාවට අකමැත්ත ප්‍රකාශ කලා. අවසානයේදී පාසල මෙම ව්‍යාපෘතියෙන් ඉවත් වුනා. 2014 වසරේ පාසලට ළමුන් ඇතුලත් කිරිමේ කටයුතු ක්‍රියාත්මක වෙනවා.

මෙයින් ලැබෙන වාසි වලට වඩා තමන්ගේ පෞද්ගලික වාසි බලාපොරොත්තු විම නිසා. පාසලට ලැබීමට තිබුණු වටිනා භෞතික මෙන්ම මානව සම්පත් ද අහිමිව ගියා. මටනම් ඇත්තටම මේ කාරණයට දුකයි. මම පාසලට ආවෙත් පාසල් 1000 ව්‍යාපෘතිය යටතේ ලැබුණු පත්වීමකට අනුව. ඇත්තටම මම බලාපොරොත්තුවෙන් හිටියා නව තාක්ෂණික උපකරණ සමඟ පරිගණක විද්‍යාගාරයේ ඉගැන්වීම් කටයුතු සිදු කිරිමට.

නමුත් බලාපොරොත්තු සියල්ල අවසන්. තමන්ගේ ළමුන්ට ජනප්‍රිය පාසල් වලට තරඟ කිරිමක් නැතිව ලගම පාසලෙන් හොඳ පහසුකම් සහිත අධ්‍යාපනයක් ලබාගැනීමට ඇති අවස්ථාව අහිමි කරගත්තා. තම දරුවන්ට 1 සිට 5 ශ්‍රේණිය දක්වා අසලම පිහිටි වෙනත් පාසලක අධ්‍යාපනය ලබා 6 ශ්‍රේණියෙන් යම් කිසි ලකුණු මට්ටමකට අනුවම පහසුකම් සහිත පාසලක අධ්‍යාපනය ලැබීමට තිබුණු අවස්ථාව දෙමාපියන් මෙන්ම ගුරුවරුන් එක්ව නැති කරගත්තා.

අපේ පාසලේ දෙමාපියන් වැඩි ප්‍රමාණයක් අඩු ආදායම් ලාභින්. ඉතින් කිසි දිනක දෙමාපියන් සංවර්ධන සමිතිය එක්ව පාසල තුල එවන් පහසුකම් ගොඩනැගිය නොහැක. එබැවින් නැවත කිසි දිනක මෙවන් අවස්ථාවක් ලැබෙන්නේ නැතිවෙවි වගේම ශිෂ්‍යත්වයට පවතින තරඟය මොවුන් අතරින් අඩු නොවෙනු ඇති.

මට තියෙන ලොකුම දුක අපේ වැඩිහිටියන්ම එක් වෙලා අපේ දරුවන්ට නොමිලේ ලබා දෙන්න සැලසුම් කල පහසුකම් එපා කීවා තමන්ගේ එදිනෙදා වාසි දෙස බලා.....

සමහරවිට මට මෙම පාසලෙන් වෙනත් පාසලකට යන්න වේවි... එක අතකට මට වුන එක හොදක් ඒක.....








2013/07/23

කතාවක කතාවක්.....

ගොඩ දවසකට පස්සේ ලියන්න හිතුනා. එහෙම හිතුනෙ කතා පොතක් කියෙවුවා එකේ දැකපු කතාවක් හිතට දැනුනා. හිතුනා එක ලියන්න ඔනේ කියලා. ඔයාලා එ කතාව අහලා තියෙනවාද දන්නේ නැහැ. ඒත් මම එහෙම කතාවක් අහුවෙ අදමයි......

කුරුල්ලෙකුයි කිරිල්ලියෙකුයි ආදරය කලාලු. ඒත් ටික කාලෙකින් කුරුල්ලා අළුත් කිරිල්ලියෙක් එක්ක කූඩුවක් හදන්න වෘන්දා වනයට පියාඹලා ගියා. පැලෙන්න තරම් කුරුල්ලාට ආදරේ කල කිරිල්ලිට මේ වෙන්වෙන දුක දරාගන්න බැරිව අහසේදිම පපුව පැලිලා මැරිලා ගගට වැටුණා. කාත් කවුරුත් නැති කිරිල්ලි මළ දුකට හඩන්න කෙනෙක් හිටියෙත් නැහැ. මල් පත්තිනි මෑණියෝ මේ ලගින් යද්දි කිරිල්ලිගේ මළ කඳ දැක්කා. පපුව පැලිලා මිය ගිය මේ කිරිල්ලිව දැකපු ඇයට දුක හිතුනා. ඒ නිසාම කිරිල්ලිගේ මළ කඳත් අරගෙන කාලි මෑණියන්ව මුණ ගැහෙන්න ගියා.

කාලි මෑණියෝ පලි ගැසුවා පුංචි කිරිල්ලිට මේ දුක දුන් අයට. ඒ දුක් දුන් අයගේද පපුව පැලී යාවා කියා පලි ගැසුවා. කුරුල්ලා වෘන්දා වනයේ අළුත් කූඩුවක් හදලා අළුත් කිරිල්ලියක් එක්ක සපුමල් වැස්සේ නෑවෙමින් ඉද්දී පපුව පැලී බිම වැටුනා.

ඉන්පස්සේ පත්තිනි මෑණියන් පුංචි කිරිල්ලිව රැගෙන ගොස් වරු තුනක් තන කිරෙන් නහවා හිමාලයේ පස් පපුවට බැන්දා. දවස් තුනකින් කිරිල්ලිට පණ ආවා. කිරිල්ලිට පණ ආ විගසම කිරිල්ලි කීවේ තමා හැර ගිය කුරුල්ලාගේ නම. එවිට පත්තිණි මෑණියෝ සිදුවූ දෙය කිවා. කාලි මෑණියන් පලි ගැසූ නිසා කුරුල්ලා මිය ගිය වග..

මේ ඇසූ කිරිල්ලිය හඩමින් කුරුල්ලාගේ මළකඳ සොයා වෘන්දා වනයට පියඹා ගියා. මේ දැක කිරිල්ලිය ගැන දුක් වුන පත්තිණි මෑණියෝ කුරුල්ලාටද පණ දුන්නා.

ඉන්පසු කුරුල්ලා වැරදි වලට සමාව ගෙන යළි කිසිදා කිරිල්ලි හැර නොයන බවට පත්තිණි මෑණියන් ඉදිරියේ පොරොන්දු වුනා.....


ප.ලි.
හිතට අමුත්තක් දැනුණු කතාවක් නිසා ලියන්න හිතුවා..... අනේ මන්දා...

2013/04/26

මගේ බෝනික්කී............

අපේ පවුලේ උන්නේ අප්පච්චියි අම්මායි අක්කායි මමයි. අපේ පුංචි කැදැල්ලේ සතුට සාමය පිරිලා තිබුනා අපිට මහා ලොකුවට සල්ලි භාගේ නැති වුනත්. ඒත් අපේ අවසානාවටමද මන්දා හිටි හැටියේම අපේ පවුලේ මුදුන් මුල අපිට නැතිව ගියා. අපි තුන්දෙනා තනි වුනා. ඒ මගේ හුරතල් පුංචි වයස. කාලය ඔහේ ගෙවිලා ගියා ගොඩක් දුකසේ.

අක්කායි මමයි සෙල්ලම් කලේ සෙල්ලම් බඩු නැතිව. අක්කාට තිබුණා සෙල්ලම් බඩු ටිකක්. ඒත් මට එහෙමවත් නැහැ. අම්මාට අපි දෙන්නාට සෙල්ලම් බඩු අරන් දෙන්න තරම් ආර්ථික හයියක් තිබුනේ නැහැ. අපි ඉල්ලුවෙත් නැහැ. අපි සෙල්ලම් කරන්න යනවා අක්කාගේ යාළුවෝ එක්ක. ඒ අක්කලා සෙල්ලම් ගෙවල් දාන්න ලස්සන ලස්සන බෝනික්කෝ ගේනවා. අපේ අක්කාටනම් ඒ බෝනික්කන් දෙනවා. ඒත් මම ගොඩක් පොඩි නිසා මටනම් ඒවා දෙන්නේ නැහැ.

ලස්සන ගවුමක් ඇඳගෙන රත්තරං පාට කොණ්ඩේ පෝනිටේල් දෙකක් දාගෙන සින්දු කියන ඒ ලස්සන බෝනික්කන් නලවන්න එයාලා අරන් සෙල්ලම් ගෙදර අම්මා වෙන්න මාත් ගොඩක් ආසා වුනත් මම ඒවා ඉල්ලන්න ගියේ නැහැ. එහෙම වුනොත් අක්කාටත් සෙල්ලම් කරන්න බෝනික්කන් දෙන්නෙ නැති වේවිනෙ.

ඔහොම හැමදාම ආසාව හිතේ තියන් සෙල්ලම් කරන්න ගියාට සෙල්ලම් කරන්න සතුටක් නැහැ හරිම දුකයි ලස්සන ලස්සන බෝනික්කන් දකිද්දි. ඒ නිසාම දවසක් මම රෑ අම්මාගේ තුරුලේ නිදන් ඉන්දැද්දි අම්මාට කීවා.
"අම්මේ මට සෙල්ලම් කරන්න බෝනික්කෙක් ගෙනත් දෙන්නකෝ."
"හ්ම්ම් බලමු පොඩි පුතේ ලබන මාසේ පඩියෙන්"
"අම්මා මට ඕනේ ලස්සන රත්තරං පාට කොණ්ඩයක් තියෙන සින්දු කියන එක්කෙනෙක් හොදේ"
"හරි හරි මගෙ දුව දැන් නිදාගන්නකෝ."
"මගේ හොඳ අම්මා...."

අම්මා මට බෝනික්කෙක් අරන් දේවි කියන බලාපොරොත්තුවෙන් මම අම්මාට තුරුල් වෙලා නිදා ගත්තා. මම හීනෙන් දැක්කා අම්මා මට ලස්සනම ලස්සන බෝනික්කෙක් ගෙනත් දීලා මමයි අක්කායි ඒ බෝනික්කා එක්ක සෙල්ලම් කරනවා.

ඔහොම දවස් ගෙවිලා යද්දි මට තවත් අක්කාගේ යාළුවන් එක්ක සෙල්ලම් කරන්න යන්න හිත දුන්නේ නැහැ. ඒ මට බෝනික්කන් දකිද්දි සෙල්ලම් කරන්න ඉල්ලන්න ආසා හිතුනත් ඉල්ලන්න හිත දුන්නේ නැහැ. ඒ නිසාම මම අක්කා එක්ක සෙල්ලම් කරන්න යන්නේ නැතිව ගෙදර නතර වුනා.

අම්ම එනකම් අක්කායි මමයි ඉස්කෝලේ ඇරිලා ගෙදර ඇවිත් ඇඳුම් මාරු කරන් හැමදාම සෙල්ලම් කරන්න ගියා. ඒත් පස්සේ පස්සේ අක්කා සෙල්ලම් කරන්න යද්දි මම තනියෙන් ගෙදර පිටි පස්සේ ගල උඩට වෙල තනියෙන් කෝම්පිට්ටු හැදුවා. සෙල්ලම් ගෙවල් දැම්මා. අම්මා එනකම්ම තනියෙන් ඔහේ එතන හිටියා. අම්මා ආවාම අම්මාගේ පස්සේ වැටිලා හිටියා අක්කා ගෙදර එනකම්ම. සමහර වෙලාවට ඉස්කෝලේත් හවස පංතියෙත් මහන්සි වෙලා ගෙදර එන අම්මාට මාව හිසරදයක් වෙන්න ඇති. ඒත් අම්මා මට බැන්නේ නැහැ කවදාවත්ම.

කොහොමින් කොහොමහරි අමාරුවෙන් මාසයක් ගෙවිලා ගියා. අම්මාගේ පඩි දවස. එදා හවස මම නොඉවසිල්ලෙන් මග බලන් හිටියා අම්මා ගෙදර එනකම්. මට ලස්සනම ලස්සන රත්තරං පාට කොණ්ඩයක් තියෙන සින්දු කියන බෝනික්කෙක් ගේනකම්. මට සෙල්ලම් කරන්න ඕනේ වුනෙත් නැහැ. මම ඉස්සරහා ජනේලේ ලඟ පුටුවක් තියාන එලිය බලාන හිටියේ අම්මා එනකම්.

ඈතින් අම්මා එනවා දැක්කා. මම පුටුවත් පෙරලාගෙන ගිහින් දොර ඇරියා. මම නොඉවසිල්ලෙන් අම්මාගේ අතේ තිබුණ බෑග් දිහා බැලුවා. ඒත්..... අම්මාගේ අතේ තිබුනේ වෙනදා ඉස්කෝලේ ගෙනියන හෑන්ඩ් බෑග් එකයි පොත් බෑග් එකයි විතරයි. මට හදිස්සියි මගේ බෝනික්කි දකිනකම්. මම අම්මාගේ අතේ  එල්ලුනා.
"අම්මා... කෝ මට බෝනික්කෙක් ගෙනාවද? අද අම්මාගේ පඩි දවසනේ..."
"අද පඩි දවස තමා පුතේ.. ඒත් හෙට සෙනසුරාදානෙ. හෙට මම ටවුමට ගිහින් ගෙනත් දෙන්නම්"
"අනේ අම්මා....."

මගේ ඇස් දෙකේ කඳුළු පිරුණා... විනඩියක් යන්නටත් කලින් මගේ කම්මුල් දිගේ මටත් නොදැනිම කදුලු පේලි ගලාන ගියා..... මම දුවන් ගිහින් ඇඳට පැනලා මගේ කොට්ටේ තුරුල් කරගත්තා.
"පොඩි පුතේ..... හෙට අරන් දෙන්නම්...." අම්මා මගේ ලඟට ඇවිත් ඔළුව අතගාලා මාව සැනසුවා.
මම හිත සනසාගෙන ඇඬුම නතර කලා. මාසයක් බලන් හිටි එකේ එක දවස කමක් නැහැ කියලා.

පහුවදා අම්මා අක්කා එක්ක ටවුමට ගියා. මාව ලඟ ගෙදරක තියලා ගියා. මම එහේ ඉදන් සෙල්ලම් කරන ගමන් මග බල බලා හිටියා අම්මලා එනකම්. ඈතින් අම්මායි අක්කායි බඩු මලු අරන් එනවා දැක්කාම මම දිව්වා ඉස්සරහාට. ගේ ඇතුලට ගිහින් බෑග් එකෙන් මගේ ලස්සන බොනික්කාව අරන් දෙනකම් මට ඉවසිල්ලක් තිබුනේ නැහැ. මගේ හදිස්සිය දැක්ක අම්මා
"හොඳ පුතා වගේ අතනින් ඉදගෙන තෑගි ගන්න එන්න."
මම දුවලා ගිහින් ඉද ගත්තා.
"මෙන්න දැන් තෑගි ලබන්නේ ගෙදර ඉන්න හොඳම ළමයා .............." කියලා මගේ නම කීවා.
මමත් අම්මා ලඟට ගිහින් ලස්සනට ඔළුව නමලා අත්දෙකෙන්ම තෑග්ග ගත්තා. මගේ ලස්සන සින්දු කියන බෝනික්කි. මම ඉක්මනටම බ්‍රවුන් පේපර් බෑග් එක ඇරලා බැලුවා.
ඒ බැලුව මගේ ඇස් දෙකට කඳුලු පිරුනා.
"අම්මා.... මම ඉල්ලුවේ ලස්සන රත්තරං පාට කොණ්ඩයක් තියෙන සින්දු කියන බෝනික්කෙක්නේ" මම බෑග් එකෙන් බෝනික්කා එළියට ගන්න ගමන් කඳුලු පෙරමින් කීවා.

"පොඩි පුතේ මේ මාසේ අම්මාට වියදම් වැඩියි ගෙවල් කුලීත් වැඩි කරලා. ගෙදර පදිංචි වෙන්න වැඩ ටික ඉවර කරන්නත් ඕනේනෙ. මගෙ පුතාට මම හෙමින් සැරේ ඒ වගේ ලස්සන බෝනික්කෙක් අරන් දෙන්නම්" අම්මා ඇඩුම් ස්වරයෙන් මගේ ඔලුව අතගාමින් කිවා.
"ඔව් නංගි අම්මා පස්සේ අරන් දේවි. අපි එතකම් ඔය බෝනික්කාගෙන් සෙල්ලම් කරමු." අක්කා මගේ අතින් අල්ලාගෙන එහෙම කිවේ මගේ හිත හදන්න.
ඒත් මගේ පුංචි හිත හුගාක් රිදුනා. මම රෝසම රෝස පාට තට්ට බෝනික්කාව එතනම බිම දාලා
"මගේ අප්පච්චි හිටියා නම් මට ලස්සන බෝනික්කෙක් ගෙනත් දේවි සින්දු කියන බෝනික්කියක්. අම්මා මට ආදරේ නැහැ." මම එහෙම කියාගෙන ඇඳට ගිහින් මගේ කොට්ටේ බදාගෙන ඇඬුවා හොඳටම.

අම්මා මගේ ලඟට ඇවිත් ඔළුව අත ගගා හිටියා ටික වෙලාවක්. අම්මාගේ උණු කඳුලක් මගේ කම්මුලකට වැටුණා. මම ඔලුව උස්සලාවත් අම්මා දිහා බැලුවේ නැත්තේ අම්මා අඬනවා කියලා දැනුන නිසා. මහ පොළව වගේ හැම දුකක්ම දරාන ඉන්න අම්මා අඬනවා බලන්න මට පුළුවන් කමක් තිබුනේ නැහැ. අම්මා ටිකක් ඉදලා ගියා. මම එහෙමම අඬලා අඬලා නිදා ගත්තා.

දවස් ගාණක් යනකම් මම වැඩි කතා බහක් නැතිව සෙල්ලම් කරන්නේත් නැතිව පැත්තකට වෙලා හිටියා. ටික දවසකින් මම අම්මා ගෙනත් දුන්නු රෝස පාට කොණ්ඩේ නැති සින්දු කියන්නෙත් නැති බෝනික්කා එක්ක සෙල්ලම් ගෙදරක් දැම්මා. අක්කාත් මා එක්ක සෙල්ලම් කලා වැඩි දවසක් යාළුවො එක්ක සෙල්ලම් කරන්න නොයා.

අම්මා මගේ ඒ බෝනික්කාට පොඩි ගවුමක් මහලා දුන්නා. මම ආයෙමත් කලින් වගේම කාලෙ ගෙවුවා හිත හදාගෙන අම්මාට සල්ලි හම්බ වුනාම ලස්සන රත්තරං පාට කොණ්ඩයක් තියෙන සින්දු කියන බෝනික්කෙක් ගෙනත් දේවි කියලා.

ඉන්පස්සේ අපි අපේම කියලා හදපු අළුත් ගෙදර පදිංචියට ගියා. කාලය ඔහොම ගෙවිලා යද්දි අගෝස්තු නිවාඩුවට දවස් ගාණක් තියෙද්දි අපේ චූටි මාමා රට ඉදන් ආවා. අපි දවසක්  ගියා මාමාව බලන්න ලොකු මාමලාගේ ගෙදර. මම චූටි මාමාට අපේ අළුත් ගෙදර විස්තර කිය කියා පස්සෙන් ඇවිදිද්දි මාමා බඩු වගයක් හොයන්න මාමාගේ බෑග් ඇද්දා. ලග හිටි මගේ ඇහැ ගියා බෑග් එකේ තිබිලා එලියෙන් තිබ්බ දෙයක් දැකලා. ඒ තමා ලස්සන රත්තරං පාට කොණ්ඩයක් තියෙන ලස්සන ගවුමක් ඇදපු මම ආසා කල බෝනික්කියක්. එක්කෙනෙක් නෙවෙ තුන් දෙනෙක්ම. මගේ හැමදේම මම මාමාට කියනවා වුනත් මට බෝනික්කාට ගොඩක් ආසා හිතුනත් මම ඉල්ලුවේ නැහැ.

ලස්සනම ලස්සන බෝනික්කන් තුන් දෙනාගෙන් ඇස් ඉවතට අරන් වේගෙන් ඇසිපිය ගහලා ඇස් අගට උනලා තිබුණ කඳුළු වේල ගෙන ආයෙමත් මාමාගේ පස්සෙන් වැටුණා. එදා හවස් වෙලා අපි ගෙදර ගියා. පහුවදා රෑ කෑමට මාමායි නැන්දම්මායි අපේ ගෙදර ආවා. අපිට මාමා තෑගි ගෙනාවා. අම්මාට සාරියක්. අක්කාට ගවුම් රෙද්දක්. මට ගවුම් රෙද්දකුයි අර මාමාගේ බෑග් එකේ හිටි ලස්සනම ලස්සන බෝනික්කියෙකුයි.

මට ගොඩක් සතුටු හිතුනා මම ආසාවෙන් හිටි බෝනික්කියක් මට ලැබුණාට. ඒ බෝනික්කි ලස්සන සින්දුවක් කිය කියා එයාගේ පුංචි බෝනික්කාව නලවනවා අතේ තියාන. මට මාමා දුන්න බෝනික්කාට පුංචි බෝනික්කා බබෙක් හිටියේ නැහැ. ඒත් එයා අත් දෙක ඒ විදිහට තියන දෙපැත්තට කැරකෙනවා සින්දු කිය කියා. මාමා අනිත් අයට බෝනික්කන් දෙද්දි එක්කෙනෙක්ගේ බබා බෝනික්කා කැඩුණ නිසා මගේ එකේ එක්කෙනාව දෙන්න වෙලා. ඒත් මාමා මට එහෙම කිවෙ නැහැ. ඒ වුනත් මට ගොඩක් සතුටු හිතුනා මට මම ආසා බෝනික්කිව ලැබුණ නිසා.

මම එදා ගොඩක් රෑ වෙනකම් සෙල්ලම් කලා අක්කාත් එක්ක. ඒ වෙද්දි අක්කා සෙල්ලම් කරන වයසෙන් ටිකක් ඈත් වෙලා තිබුණත් එයා මා එක්ක සෙල්ලම් කලා. අන්තිමේ අම්මා සැරකල නිසයි නිදා ගත්තේ පහුවදා ඉස්කෝලේ යන්න තියෙන නිසා.

මම මගේ බෝනික්කිව පරිස්සමින් අරන් තිබ්බා. හැමදාම ඉස්කෝලේ ඇරිලා ඇවිත් මම බෝනික්කිගේ සින්දු දාගෙන සෙල්ලම් ගේ දැම්මා. මම බෝනික්කිව හැමදාම රෑට තියල තිබ්බේ සාලේ තිබුණ කැබිනට් එක උඩ.

වෙනදා වගේම එදත් නිදාගන්න කලින් බෝනික්කිව එතන තියලා මා නිදාගත්තා. පහුවදා උදේම නැගිටලා අම්මායි අක්කායි ඉස්කෝලේ ගියාම මම උඩහා අත්තම්මලාගේ ගෙදර ඉදලා හිමින් සැරේ තමා ඉස්කෝලේ යන්නේ. මොකද මම ගියේ ගෙදර ලඟ ඉස්කෝලෙට නිසා උදෙන් යන්න ඕනේ නැහැ. මම ඉස්කෝලේ ගිහින් ගෙදර එද්දි අපේ ගෙදර වහලේ නැහැ. ගේ ලඟ ගොඩක් අය ඉන්නවා.

මම ගෙදරට දුවලා ගිහින් බලද්දි අපේ ගේ මැද වහලෙට පොල් ගහක් කඩන් වැටිලා. මම දුවලා ගිහින් දොරෙන් ඇතුලට ගියා. මගේ බෝනික්කිව හොයන්න. අනේ මගේ බෝනික්කි බිම වැටිලා. මම ඉක්මනට එයාව උස්සගෙන ඇවිත් සින්දු දාලා බැලුවා. ඒත් එයා සින්දු කියන්නේ නැහැ. දෙපැත්තට වැනෙනෙත් නැහැ. මට ගොඩක් දුක හිතුනා. මම බෝනික්කිවත් තුරුල් කරන් පැත්තකට වෙලා ඇඩුවා ගොඩක් වෙලා. ලොකු අම්මා ඇවිත් මාව එක්ක යනකම්ම මම ඇඩුවා. ඉස්කෝලෙත් නිවාඩු නිසා ලොකු අම්මා මාව එක්කගෙන ගියා. මම මගේ බෝනික්කිව අරන් යන්න හදද්දි

"පුංචි දුවේ බස් එකේ ඔයාගේ බෝනික්කා ගෙනිහින් තවත් ටිකක් එයා කැඩෙයි. ඒ නිසා ගෙදර තියලා යමු. මාමා හදලා තියයි." කියලා ලොකු අම්මා කිවා.
ඒ හන්දාම මම මගේ බෝනික්කිව තියලා ගියා. මාසෙකින් පස්සේ මම ආයෙමත් ඉස්කෝලේ යන්න ගෙදර ආවා. අපේ ගෙදර හදලා ආයෙමත්. මගේ බෝනික්කි හිටි තැනම ඉන්නවා. මම දුව ගිහින් එයා ආයෙමත් සින්දු කියනවාද බැලුවා. නැහැ එයා සින්දු කියන්නේ නැහැ. ඒත් මම මගේ බෝනික්කි එක්ක සෙල්ලම් කලා ගොඩක් කල්.

කාලෙත් එක්කම මගේ බෝනික්කි කැඩුනා. මට තිබුණු එකම සෙල්ලම් බඩුවත් මට නැති වුනා. මම ටික ටික ලොකු වුනා. සෙල්ලම් කරන වයස පහු කලා. ඒත් අදටත් කවුරු හරි පොඩි එකෙක්ගේ පුංචි සෙල්ලම් බඩුවක් දැක්කාම ඒකෙන් ටිකක් සෙල්ලම් කරලා බලනවා.

2013/03/29

අමානුෂික දඬුවම......


ඊයේ පාසලේදි සිදුවුන දෙයක් ගැනයි කියන්න යන්නේ... මට ගොඩක් අය කිවා ඉස්කෝලේ දේවල් ලියන්න එපා කියලා. ඒත් මේ මගේ බ්ලොග් එකනෙ. හරි වැරැද්ද ගැන නොහිතා මම ලියනවා.

අපේ ඉස්කෝලේ අංශ වලට වෙන් කරලා තියෙනවා හැම ඉස්කෝලෙකම වගේ. ඒත් තියන වෙනස තමා වෙන ඉස්කෝලවල නැති මහා අමුතු බෙදිමක් තියෙනව ඒ ඒ අංශවල. කොහොමහරි තියෙන්නෙ ප්‍රාථමික, කණිෂ්ඨ, කණිෂ්ඨ ද්විතික, විද්‍යා, කළා හා වාණිජ. ඔය විදිහට බෙදලා තියෙන්නේ ළමයි විතරක් නෙවේ. ගුරුවරුත් බෙදලා දාලා තියෙනවා ඔය අංශ වලට. ගුරුවරු බෙදන්නේ ඒ ඒ ගුරුවරයා උගන්වන අංශයට අයත් වෙනවා. ඇතැම් අය ඉන්නවා අංශ දෙක තුනකම උගන්වන. හරියට මේ මම වගේ. මම විතරක් නෙවේ ගොඩක් ඉංග්‍රීසි ගුරුවරුත් අංශ කිපයකම උගන්වනවා. ඉතින් ඔය අයත් වෙනම අංශයක්ට අයත් වෙනවා. එහෙම අය වෙන්කරන්නේ වැඩිපුර කාලඡ්ඡේද ගණනක් වැඩ කරන අංශයට.

ඉතින් මාව අයිති වෙන්නේ ඔයින් කණිෂ්ඨ ද්විතික අංශයට වුනාට මම නෙවේ ඒ පැත්තටවත් යන්නේ. අත්‍යාවශ්‍යම රැස්වීමකට විතරක් යනවා. ඉතින් මම වැඩිපුරම ඉන්නේ විද්‍යා අංශයේ. දැන් මේක කියවන හැමෝම හිතනවා ඇති මේ මොන විකාර කතාවක්ද කියලා. ඒත් මේ දේ කිවේ මේ අංශ නිසා තමා මම කියන්න යන මේ සිදුවිම වුනේ

අද අනිත් හැම අංශයකම වාර විභාග ඉවර වෙලා. නමුත් විද්‍යා අංශයේ 12 ශ්‍රේණියට රසායන විද්‍යාව ප්‍රශ්ණ පත්‍රය තිබුණා.

අනිත් ප්‍රධානම දේ තමා අපේ ඉස්කෝලේ විද්‍යා අංශයේ පංති තියෙන්නේ ඉහල මාලයක. එහි පහල මාලයේ කළා අංශයේ 12 ශ්‍රේණියේ පංති තියෙනවා. එතන පඩිපෙල පහල කොටස කුඩා කාමරයක් ලෙස හදලා තිබිලා තියෙනවා පරිසර පැටවු වෙනුවෙන්. ඒත් මම ඉස්කෝලේට ගිය දවසේ ඉදලා දැක්කේ එතන කුණු කසල දාලා තියෙනවා. කොහොම හරි මේ වාරයේ ආරම්භයේ එම ස්ථානය නවීකරණය කලා. දැන් එතන ඉන්නේ අපේ ඉස්කෙලේ ඉන්න හාමුදුරුවෝ. මේ අපේ පාසලේ ඉන්න හාමුදුරුවරු දෙන්නාගෙන් දෙවනි කෙනා. එහෙම කිවේ අනිත් හාමුදුරුවො නියෝජ්‍ය විදුහල්පති. මේ හාමුදුරුවෝ කළා අංශයේ ඉගැන්විම් කරනවා.

ඉතින් දැන් මාස තුනක්ම හාමුදුරුවො ඔතන ඉන්නවා කිසිම ප්‍රශ්ණයක් වුනේ නැහැ. ඒත් අද අවුලක් වුනා. මමයි අපේ එක chemistry මැඩම් කෙනෙකුයි උඩට ගියා ප්‍රශ්ණ පත්‍ර දෙන්න. අපි ගිහින් ළමයි පංතිවලට යවලා නිෂ්ශබ්ධ කරලා මුලින්ම කොටු කොල දෙන්න ලෑස්තිවෙද්දිම ළමයි දෙතුන් දෙනෙකුයි අළුතෙන් ආව chemistry සර් ආවා. සර් කිවා හාමුදුරුවො කිවා කියලා හාමුදුරුවොන්ගේ කාමරේ වහලෙට තට්ටු කරලා ආව ළමයාට එන්න කියලා. මැඩම් ඇහුවා ළමයින්ගෙන් කවුද එහෙම කලේ කියලා. කවුරුත් කරලා නැහැ.

ඒත් ඉතින් කරන්න දෙයක් නැති නිසා පංති දෙකේම ළමයි යැවුවා පහලට බැනලා එවයි කියලා හිතලා. ඒත් බැනලා අවුවේ හිටවලා තිබ්බා ළමයි ටික විනාඩි 10 විතර. හොඳ වෙලාවට අසනීප වෙලා මාස ගාණක් ඉස්පිරිතාලේ ඉදලා ආව පිරිමි ළමයෙක් හිටියා එයාව යැවුවේ නැහැ. කොහොමහරි ළමයි ටික අවුවේ හිටන් ඉන්නවා. මාත් උඩ ඉදලා බලලා කිවා කවුරු හරි වැරැද්ද පිළිඅරන් සමාව ගන්න කියලා. ඉන් පස්සේ physics සර්ත් එතනට ඇවිත් ළමයින්ට කියලා තියෙනවා හාමුදුරුවන්ගෙන් සමාව ගන්න වැරැද්ද පිළිඅරන් කියලා.

එ අතරෙ ළමයි දෙන්නෙක් ඉදිරිපත්වුනා. හාමුදුරුවො කියලා බොරු කියන්න එපා කියලා. ඉන්පස්සේ තවත් ළමයෙක් ඉදිරිපත් වෙලා. එයා කියලා හාමුදුරුවො හිතාන එතන හිටිය අනිත් ළමයි හැමෝටම ඒ ළමයට ටොකු 5 ගානේ අනින්න කියලා. කොහොමහරි ඒ ළමයා ඇත්තටම හරි පුංචි ළමයෙක් වැඩි උසක් නැහැ. ඇගපතත් හරි පුංචියි. කොහොමහරි මුලම ළමයා හෙමින් ටොකු 5ක් ඇනලා. ඉන්පස්සේ සැර කරලා තව ටොකු 10 ඇන්නවලා. ඉන්පස්සේ ළමයින්ට කියලා තියෙනවා ටොකු අනින කෙනා හරියට ඇන්නේ නැතිනම් එයාට හාමුදුරුවො ටොක්කක් අනිනවා කියලා.

ඒ විදිහට ළමයි දෙතුන් දෙනෙකුත් ටොකු කාලා. අර ළමයා එක්කෙනෙක්ගෙන් ටොකු 5 ගානේ ළමයි 25 කගෙන් ටොකු කෑවා. ඒ මදිවට හාමුදුරුවො ඒ වෙලාවෙ කියලා තියෙන්නේ ළමයාගේ ඇස් වලින් කදුළු පනිනවා පේන්න ඕනේ කියලා. ඇත්තටම ඒ ළමයාගේ කදුළු පෙරෙනවා උඩට එද්දි. මම ඒ ළගටවත් ගියෙ නැහැ.මට ඒ තරම් අමානුෂික ක්‍රියාවක් බලන්න බැරි නිසා. එතන හිටිය chemistry මැඩම් උඩට ආවා ඒ මැඩම්ගේ ඇස් වලිනුත් කදුලු ගලනවා. ඒ ළමයාට ගහන ගැහිල්ල දැකලා අළුතෙන් ආව සර් ගිහින් හාමුදුරුවන්ට මුණටම කිවා ඒ වැඩේ හරි නැහැ ඔහොම දඩුවම් කරන එක වැරදියි කියලා.

ඒ වෙලාවේ හාමුදුරුවො ඒ සර්ට කියලා ඒක මගේ කැමැත්ත කියලා. එතනින් එහාට කතා කරලා වැඩක් නැති නිසා ඒ සර් නිෂ්ශබ්ධ වෙලා. හාමුදුරුවො අර ළමයාට සතෙක්ට වගේ බැන්නා. ආයේ එතනින් යද්දි හයියෙන් අඩිය තියන්නවත් බැහැ කියලා. පුදුම කළකිරිමක් අපිට ඇතිවුනේ. ඒ ළමයි සියළු දෙනාම උඩට ආවා. පුදුමාකාර දුකක් තරහක් කළකිරිමක් මුණුවල තිබුනේ.

ළමයි විභාගය ලියන්න ඕනේවට පංති ඇතුලට ගියේ. ඒ වුනත් ඔවුන්ට විභාගය කරන සිහියක් තිබුනේ නැහැ. හැමදෙනාගේම මුණු බිමට බර කරගෙන. ඇත්තටම මහා අමානුෂික දඩුවමක් දුන්නේ. අන්තිමට maths පංතියේ ළමයෙක් bio පංතියේ ගෑණු ළමයින්ට කෑගහලා ගියා එයාලා එහෙම කලානම් කියන්න නිකම් අර ළමයා ගුටි කෑවා. එයා හෙන උප්සෙට් එකේ කියලා. ඒත් ගෑණු ළමයි එහෙම කරලත් නැහැ.

ප්‍රශ්ණ පත්‍ර බෙදලා ඉවර වෙලා අපි තුන්දෙනා පංති දෙක මැදින් හිටන් හිටියා කතා කර කර. ළමයින්ට ප්‍රශ්ණ පත්‍රය ලියන්න කිසිම මානසිකත්වයක් නැහැ කියන එක හොදටම තේරුණා. හැමදෙනාම කල්පනා කරනවා. ලග ඉන්න කෙනා පැත්තට හැරිලා බනිනවා. වෙනදාට එක විනාඩියක අවසරයෙන් කොපි කරන්න දගලන ළමයිට ඒහෙමවත් වුවමනාවක් නැහැ. ඒ තරමට තරහින්. අපිත් එළියෙම හිටියා කොපි කරනවානම් කරපුදෙන් කියලා. මොකද අපිට වුනත් ඒ වෙලාවේ කිසිම හොඳ මානසිකත්වයක් තිබුනෙ නැහැ. ඉතින් ළමයින්ට කොහොම ඇතිද.

වැරැද්ද භාර අරන් ගුටිකාපු ළමයා ඔළුව තියාගන්නවා අයෙ ටිකක් ලියනවා. chemistry මැඩම් ඇහුවාම ඔළුව රිදෙනවාද කියලා නැහැ කිවාට රිදෙනවා ඇති. ඉන්පස්සේ ඔලුව අතගාලා බලද්දි එතන වල ගැහිලා. තෙල් ටිකක් ගෑවා. පවු ඒ ළමයා ඒ වෙද්දිත් ඇස් වල කදුළු පිරිලා. ඔය අතරෙ ළමයි ප්‍රශ්ණ පත්‍රය පැත්තක තියලා බනිනවා. ඒ අතරේ පහල තියෙන කළා පංති වල ළමයි හොදටම කෑගහනවා. ඒත් හාමුදුරුවොන්ට ඒ දේවල් ඇහෙන්නේ නැහැ. ඒකට ළමයින්ට තවත් තරහයි.

ඒ අතරෙම ළමයි විදුහල්පති තුමාට ලිපියක් ලියලා ඉස්කෝලේ පැමිණිලි පෙට්ටියක් තියෙනවා ඒකට දාන්න. ඒ වගේම අළුත් සර් ගිහින් විදුහල්පතිතුමාට පැමිණිලි කරලා වුනදේ. විදුහල්පතිතුමාටත් කරන්න දෙයක් නැහැ කිවලු. මෙහෙ හාමුදුරුවො දෙන්නාගේ හැටි ඔහොමතමා එයාලා අපිටත් කරදරයක් වෙලා තියෙන්නේ කියලා. ඒකත් එපමණයි. කොහොමහරි ප්‍රශ්ණ පත්‍රය ඉවර වෙලා අපි ලැබ් එක්ට ගියා. අපේ විද්‍යා අංශයේ සියළු දෙනාම එකතු වෙලා කතා කර කර හිටියා ඒ ගැන. හැමදෙනාම අප්‍රසාදයෙන් කතා කලේ.

ඒ අතරෙම හාමුදුරුවො එතනින් කාර්යාලය පැත්තට ගියා. අපිට හොදටම රවාගෙන. ඉන්පස්සේ මම ගියා කොම්පියුටර් ලැබ් එක වහලා එන්න. ඒ එද්දි දැක්කා හාමුදුරුවො bio ලැබ් එකේ ඉදන් එනවා. ඒ ඇවිත් අළුත් සර්ට කියලා ළමයි ඉස්සරහා එහෙම කතා කල එක වැරදියි කියලා. ඒ සර්ත් කිසිම බයක් නැති මනුස්සයෙක්. එයාත් කෙලින්ම කියලා ඒ දිපු දඩුවම හරිද කියලා. කොහොමහරි හාමුදුරුවො ගියා. ඒ වෙලාවෙ ඉස්කෝලේ ඇරියා. ඒත් ළමයි යන්නේ නැහැ. පංතිය ළග කැරකි කැරකි ඉන්නවා. අන්තිමට මැඩම්ලා කියලා කියලා යවා ගත්තා. ඒත් පහලට බැහැලා යන්න හිතක් නැහැ. ආයෙමත් ලැබ් එක ලගට ඇවිත් අහනවා මොකද වෙන්නේ කියලා. ඒ පාට අපේ bio මැඩම් කිවා මොනවා වෙන්නද දැන් ගෙවල් වලට යන්න කියලා අමාරුවෙන් යවා ගත්තා.

ඉස්කෝලේ ඇරපු නිසා අපිත් ගියා. මමත් අත්සන් කරලා පහලට බහිද්දි දැක්කා හාමුදුරුවො කළා අංශයේ තවත් සර්ලා දෙන්නෙක් එක්ක අර සර්ට මොනවාදො කියනවා. හිටි අනිත් දෙන්නත් මහ අමුතු ජාතියේ.

කොහොම නමුත් මට ඒ කතාවත් මැදිහත් වෙන්න විදිහක් නැහැ. මා ඒ හැමදෙනාටම වඩා ගොඩක් පොඩි නිසා. ඒ නිසා මම එන්න ආවා. කොහොම වුනත් පුදුමාකාර කළකිරිමක් ඇති වුනේ. මට අපේ විද්‍යා අංශයේ ගුරුවරුන්ට විතරක් නෙවේ. විද්‍යා අංශයේ ළමුන් හැමදෙනාටම. ඒ වගේ අමානුෂික දඩුවම් නොදි හැමදෙනාටම කළා අංශයේ ළමයින්ට විද්‍යා අංශයේ ළමයින්ට එක වගේ සලකන්න පුළුවන්නම් කොයිතරම් වටිනවාද... ඒ වගේම ඔහොම ගහන්නේ නැතිව ළමයින්ට හොදින් කියලා යහමගට ගන්න පුළුවන්. එහෙම කලානම් කොයිතරම් වටිනවාද.... ඊටත් වඩා මෙතන විද්‍යා අංශයටම හැමදාම ගහන්න බනින්න දඩුවම් කරන්න කළා අංශයේ අයට හරි පුදුමාකාර ආසාවක් තියෙනවා. අනේ මන්දා..

2013/02/25

හැකිනම්....... නොහඬන්න....

නෙතු පුරා හඬන්නම්....
නුඹ අහිමි නිසා..... මට....
සිත පුරා සිනාසෙන්නම්...
ඔබ තුටින් නිසාවෙන්.....

ගලායන කඳුළු බිඳු
පාරනා විට මහද
නොහඬා සිනා සෙන්නට
කියා දෙන් මට.....

හැකිනම් නොහඬන්න....
නුඹ නොලදත්....
කමා කරනු මැන.....
නොහැක සිනා සෙනු සගවා .....
මහද දුක් ගිනි.....