2012/12/27

මම අකුරු කියවූ හැටි...............

අපි පුංචි කාලේ අපිට අකුරු කියවනවානෙ. මම දන්න විදිහට නම් ඉතින් අකුරු කියවන්නේ අවුරුදු දෙක හමාර තුන විතර වයසේදි. ඒ වගේම තමා ඔය අවස්ථාවට ලගම නෑදෑයින්ට එන්න කියලා නැකතට පූජාවන් එහෙම තියලානේ කරන්නේ. මේ ඉතින් මම දන්න විදිහ. මීට වෙනස් විදිත් ඇතිනෙ.

ඔන්න එහෙනම් අකුරු කියවන චාරිත්‍ර වාරිත්‍ර ගැන කියවන්නේ නැතිව මම කතාව කියන්නම්. අපේ පවුලේ ඉන්නේ මමයි අක්කයි නෙ. ඒ කියන්නේ අපේ අප්පච්චිටයි අම්මාටයි ළමයි දෙන්නයි. ඉතින් අපේ අප්පච්චිත් ගුරුවරයෙක් විදුහල්පතිවරයෙක් නිසා හරි කැමති වෙලා තියෙනවා අක්කාටයි මටයි අකුරු කියවන එක අප්පච්චිම කරන්න. මොකද ඉතින් අප්පච්චිගේ සහෝදරයන්ගේ ළමයි හැමදෙනාටමත් අකුරු කියවලා තියෙන්නේ අප්පච්චිම තමා. එහෙම එකේ තමන්ගේ ළමයි දෙන්නාට අකුරු කියවන්න බැරි වුනොත් වැඩක් නැහැ නෙ.

ඒත් ඉතින් අපේ අප්පච්චිගේ නරක වෙලාවට අපේ අක්කාටනම් අකුරු කියවන්න බැරි වෙලා. ඒක වෙලා තියෙන්නේ මෙහෙමයි. අපේ අක්කාට අවුරුදු 5 වෙනකම්ම අප්පච්චියි අම්මායි අක්කායි ඉදලා තියෙන්නේ අපේ අම්මාගේ මහ ගෙදර. ඉතින් අක්කාට අකුරු කියවද්දි අම්මාගේ අක්කාටත් එන්න කියලා ලේසියෙන්ම එන්න පුළුවන් නිසා. ඉතින් අප්පච්චි ඔක්කොම දේවල් සූදානම් කරලා අකුරු කියවන වැඩේ පටන් අරන්. අප්පච්චි හෝඩිපොත අරන් අක්කාට කියනවාලු
"කියන්න මගේ පුතේ අ යනු" කියලා.
අක්ක මුකුත් කියන්නේ නැතිව අර පූජාවට වටේට තියලා තියන ජාති වල හැඩ බලනවාලු.අප්පච්චි පස් හය වතාවක්ම උත්සාහ කලාලු වැඩක් නැහැ අක්කා අකුරු කියන පාටක් නැහැ. නැකත් වෙලාවත් පහුවෙන නිසා අත් ඇරල දාලා. ඊට පස්සේ අපේ ලොකු අම්මා "චම්මි.... කියන්න අ යනු..." කියලා.
අපේ අක්කාත් පට ගාලා කියලා " අ යනු " කියලා.
අප්පච්චිට හරිම දුක හිතිලා ඒත් ඉතින් මොනා කරන්නද කියලා ඉදලා.
එහෙම තම අප්පච්චිට අක්කාට අකුරු කියවන්න බැරි වෙලා තියෙන්නේ.

අපේ අක්කා ඉස්කෝලේ යන්න වයස වෙද්දි අපේ අප්පච්චිටයි අම්මාටයි අක්කාටයි අම්මලාගේ මහ ගෙදරින් යන්න වෙලා. ඒ හේතුව නම් මම ගොඩක් දන්නේ නැහැ. අම්මා කියලා තියෙන විදිහටනම් අපේ ලොකු මාමා කන්කසන්තුරේ ඉදලා එහෙ කලබල ඇතිවෙලා පවුල් පිටින් මෙහෙ ගෙදර පදිංචියට ආවාම අප්පච්චිටයි අම්මාටයි යන්න කියලා රණ්ඩු වෙලා. කොහොම හරි ඉතින් එයාලා වෙනම පදිංචියට ගිහින්.

ඔහොම ඉතින් වෙනම පදිංචි වෙලා පවුලේ අයගෙන් ගොඩක් ඈත් වෙලා තියෙනවා එයාලා. අපේ අක්කාට අවුරුදු 8ක් වෙද්දි මම ඉපදිලා තියෙන්නේ ඔහොම පවුලේ අයගෙන් ඈත් වෙලා ඒ තුන් දෙනා වෙනම සතුටින් ඉද්දි. කොහොම හරි මටත් අකුරු කියවන වයස ලං වෙලා. දැන් අත්තම්මාගේ ලොකුඅත්තාගේ බලපෑමුත් නැති නිසා අප්පච්චි ජයටම මගේ අකුරු කියවන මංගල්ලේට ලෑස්තිවෙනවාලු.

ඒ කාලේ අපි හිටියේ මාතලේ. ඒ නිසා අපේ අප්පච්චිගේ ගමට ලගයි. ඒ නිසා අප්පච්චි නිතර ගමේ ගිහින් එක එක දේවල් අක්කාටයි මටයි ගේනවා. ඔය ගේන දේවල් අපිට දෙන්නේ ටික ටිකත් නෙවේ. කොහොමහරි අකුරු කියවන්න කලිනුත් අප්පච්චි ගමේ ගිහින් බඩ ඉරිගු ගෙනත්. මට අකුරු කියවන්න කලින් දවසේ අක්කාටයි මටයි තම්බලා පිගන් දෙකකට දාලා ඉන්දවලා කන්න දුන්නා. අනේ ඉතින් මාත් පොඩ් එකා කියලා අමතක වෙලා වගේ හොදට කෑවා. ඊටත් වඩා හොදම දේ තමා අක්කායි මායි හරිම පෙරේතයි අන්නාසි වලට. අප්පච්චි එදා අන්නාසි ගෙඩියකුත් ගෙනාවා. අපි දෙන්නාට අන්නාසි ගෙඩිය කපලා දෙකට බෙදලා පිගන් දෙකකට දාලා දුන්නා. අපිට කියලත් මොනවා තේරෙනවාද අපිත් හොදට කෑවා. කොහොම හරි අක්කායි මායි එදා කිසි අවුලක් නැතිව හැමදේම කාලා හිටියා.

කොහොමහරි පහුවදා මට අකුරු කියවන නැකත. එදා උදෙන්ම අප්පච්චියි අම්මායි නැගිටලා හැමදේම ලෑස්ති කරලා. අපිවත් ඇහැරවලා මුණ සෝදවලා ඇදුම් අන්දලා වැඩේට ලෑස්ති වෙනවා. අප්පච්චි මට ගෙනපු අලුත්ම ඇදුම අන්දවලා හැඩට කොන්ඩෙ පිරලා හැඩ කලා. ඊලගට ලස්සනට පුජාවන් තියන්න සරසපු මේසේ පහන් පත්තු කරලා පූජාවන් එහෙම තියන්න ලෑස්ති වුනා. බුදුහාමුදුරුවන්ට මල් පහන් සුවද පූජා කරලා ඊලගට ගණ දෙවියන්ට සරස්වති දෙවියන්ට අදාල පූජාවන් එහෙම තිබ්බා. ඔය වැඩ ටික කරලා පන්සිල් එහෙමත් කියලා අප්පච්චි හෝඩි පොත අතට ගත්තා.

ඉන්පස්සේ අප්පච්චි හෝඩිපොතේ මුල් පිටුව පෙරලලා "අ" ලග ඇගිල්ල තියලා
"කියන්න මගේ පුතේ "අ" යනු ....."
මම නිහඬයි.
අප්පච්චි ආයෙමත් කියනවා
"කියන්න පුතේ "අ" යනු..."
මගේ කට හෙලවෙන්නේ වත් නැහැ.
අප්පච්චිත් ගේම අතාරින්නේම නැහැ. ඇයි ඉතින් එක ළමයෙක්ට අකුරු කියවගන්න බැරි වුනා. අනිත් ළමයාටවත් අකුරු කියවන එක කරන්න එපායැ.
"කියන්න මගේ පුතේ "අ" යනු... කියන්න."
ඒත් ඉතින් මම නෙවේ කියන්නෙ.
බැරිම තැන අක්කාත් කියන්න ගත්තා.
"කියන්න නංගි... "අ" යනු..."
එත් ඉතින් මම කියන්නේ කොහොමද....
අප්පච්චි ආයෙමත් කියනවා
"මගේ හොද පුතානේ කියන්නකො "අ" යනු....."

ඒ පාරනම් මගේ කට ඇරුනා...
"මට බෑ අප්පච්චි......" කියලා මම ඇඩුවා.
අප්පච්චිට කවදාවත් නැතිව තරහා ගියා හොදටම. මගේ පස්සට දෙකක් ගහලා ඇද උඩට විසි කරලා දැම්මා. ඉන් පස්සේ අප්පච්චි එලියට ගියා. ඒ වෙලාවේ තමා අප්පච්චි දැකලා තියෙන්නේ අප්පච්චිගේ සරමේ මම ඉදන් හිටි තැන මොනාද ගෑව්ලා තියෙනවා. ඉන් පස්සේ අප්පච්චි අයෙමත් ඇවිත් මාව අරගෙන බලලා කලිසම ගලවලා බලලා.

අනේ අසරණ මට වෙලා තියෙන්නේ කලින් දවසේ කාපු දේවල් දිරවගන්න බැරිව බඩේ අජීර්ණයක් වෙලා බඩ බුරුලට ගිහින් ඇදන් හිටි ඇදුමේම. කොහොමහරි එදා මගේ අකුරු කියවිල්ල ඉවර වුනා. මම අ යන්න කියන්න කට ඇරියේවත් නැහැ. කොටින්ම කිවොත්  මම අකුරු කියවලා නැහැ.

ඔන්න ඔහොමයි මම අකුරු කියෙව්වේ. අහ් මම අකුරු කියෙව්වේ නැහැනේ..
මට නැකතට අකුරු කියවන්න ගිහින් වුනේ ජර මරයක්....... කොහොමත් ඉතින් මගේ ජීවිතේ තියෙන්නේ හරි අමුතු සිදුවීම්නේ....