2013/02/20

අහිමිවීම් පමණද ජිවිතේ.....

අපේ ජිවිත හරි පුදුමාකාරයි. අපි බලාපොරොත්තු වෙන දේවල් ඒ විදිහටම ඉටු වෙයිද නොවෙයිද කියන්න අපි දන්නේ නැහැ. ඉතින් අපි අතරේ කට්ටියක් ඉන්නවා එයාලා ජීවිතේ බලාපොරොත්තු වෙන හැමදේම ඒ විදිහට වෙනවා. ඒත් තවත් සමහර අයගේ ජීවිතේ එයාලා බලාපොරොත්තු වෙනදේට වඩා හාත් පසින්ම වෙනස් දේවල් තමා සිදු වෙන්නේ. කොහොමත් අපි හැමදෙනාම බලාපොරොත්තු වෙන්නේ ජීවිතේ සතුටු හිතෙන හොඳ දේවල්. ඉතින් ඒ වගේ බලාපොරොත්තු බිඳ වැටුනාම ජීවිතේ කොයිතරම් දුක් බරද.......

මගේ ජීවිතේ අද වෙනකම් තිබුණු එකම ලොකු බලාපොරොත්තුවක් විතරයි. තවමත් ඒක ඉටු වේවිද නැතිද කියන්න බැහැ. නමුත් මේ වෙනකම් තිබුණු පොඩි පොඩි බලාපොරොත්තු ගොඩක් පෙනි පෙනි නැතිව ගියා. අදත් පුංචිම පුංචි බලාපොරොත්තුවක් නැතිව ගිය නිසා හිතේ දුකට ලියන්න හිතුන නිසා ලිවා. කියවන අයට හිතේවිද දන්නේ නැහැ මේ මොන විකාරයක්ද කියලා. එහෙම හිතුනොත් බනින්නේ නැතිව යන්න. මොකද මට බැණුම් අහන්න නම් බැහැ.

පුංචිම පුංචි කාලේ මගේ ජීවිතේට ගොඩක්ම වටින කෙනා මට අහිමි වුනා. ඒ තමා මගේ ජීවිතේ මා පහලටම ඇදන් වැටුනු සිදුවීම. ඉන්පස්සේ ටික ටික ලොකු වුනා ඒ දුක ජීවිතේ කොටසක් කරගෙනම. මම තුන වසරේ ඉද්දි ලෙඩ වුනා ගොඩක්. මාස ගාණක් ඇදේම හරියට කන්නේ බොන්නේත් නැතිව හිටියා. ජිවිතේ හැම බලාපොරොත්තුවක්ම අත් ඇරලා ඉද්දි ආයෙමත් මා ඉස්සර වෙලා හිටියා වගේ හොද වුනා.

ඉන්පස්සේ මම හතර වසරට එද්දි අළුත් ගුරුවරියක් ආවා අපිට. ඇය අවුරුද්දක් පිටරට ඉදලා ඇවිත් තිබුනේ. කොහොම හරි ඇය මා එක්ක පුදුමාකාර අමනාපයක් තිබුණා. පෑනෙන් ලියන්න පටන් ගත් මුල් කාලේ නිසාත් මාස ගාණක් අසනීපෙන් හිටි නිසාත් මගේ අත් අකුරු කැතයි. ඒ නිසාම ඇය මාව පන්තියේ කොන් කලා. හැමදාම මට පිටිපස්සේම පේළියට යන්න වුනා. ඇත්තටම මට පාසල් යන එක පවා එපා වෙලා තිබුණා. නමුත් අම්මා හැමදාමත් මට ගෙදරදි පාඩම් කියලා දෙන නිසාත් අනිත් අයට වඩා ඉක්මනින් මට වැඩ කරන්න පුළුවන් නිසා මම හැමදාමත් පාසල් ගියා.

කොහොමහරි මම පහ වසරට ආවා. පහ වසරට ආවාම අපේ පන්තියට අලුතෙන් ගුරුවරියක් ආවා. ඇය ගොඩක් හොදයි. පන්තියේ හැම ළමයෙක්ටම ගොඩක් ආදරෙන් සැලකුවා. පහ වසරේ ශිෂ්‍යත්ව විභාගය තිබුණා. මම සමත් වුනා. නමුත් අවාසනාව කියන්නේ මට එක ලකුණක් මදි උසස් බාලිකා විදුහලට. ඒ නිසා මාව තේරුනේ පුෂ්පදාන විදුහලට. හොද වෙලාවට අපේ අක්කා හිටිය නිසා මගේ ඒ හීනෙ නම් හැබෑ වුනා.

එතන ඉදන් කාලේ මහා ලොකු බලාපොරොත්තු තිබුනේ නැහැ. ඒ කාලේ ගෙවිලා ගියා. ඉන්පස්සේ සාමාන්‍ය පෙළ කාලේ තිබුණ ලොකුම බලාපොරොත්තුව සියළුම විෂයන් වලට විශිෂ්ඨ සම්මාන ගන්න. ඒත් අනේ මන්දා ඒකත් එකක් නැති වුනා. සංගීතයට සාම්මානයක්. එදා මම ගොඩක් ඇඩුවා. මම අඩනවා දැකපු හැමදෙනාම හිතුවේ මම විභාගය අසමත් වෙලා කියලා. ඒත් මගෙ බිදවැටුණු බලාපොරොත්තුව නිසා මම ගොඩක් දුක් වුනා.

ඉන්පස්සේ උසස් පෙළ. ඒකෙනුත් බලාපොරොත්තු වුන ප්‍රථිඵල ලැබුනේ නැහැ. මට යන්න ඔනේ වුන තැනට යන්න පුලුවන් කමක් නැති වුනා. ඉන්පස්සේ විද්‍යාපීඨයට අයදුම්පත් දැම්මා. විද්‍යාවට ලැබුනේ නැහැ. ඒත් පස්සේ දැනගත්තා මට වඩා අඩු z-score එකක් තියෙන අයටත් ලැබිලා තිබුනා කියලා. ඉන්පස්සේ ඉංග්‍රීසි. එයට එක ලකුණක් මදි වුනා. ඒ වෙලාවේ නම් මම ගොඩක් මානසිකව වැටුණා. පිඨාධිපතිතුමාට පුලුවන් ඒ ලකුණ සංශෝධනය කරලා තව ලකුණක් අඩුවෙන් බදව ගැනීම් කරන්න. අභියාචනයක් ඉදිරිපත් කලත් ඒක නොසලකා හැරුණා මගේ නෑදෑයෙක් නිසාම.

ඒ බලාපොරොත්තු කඩවීමත් එක්කම ඊලග වතාවේ ප්‍රථිඵල වලින් විශ්ව විද්‍යාලයට යන්න බල්න් හිටි එකත් අතැරලා NIBM ගියා. ඒ අතරේ ආයුර්වේද වෛද්‍ය වලට ආවේ. කොහොමහරි NIBM එක ඉවර කලා. රැකියාවක් බලාපොරොත්තු වුනා හොද. ලැබුන එක ඒ තරම්ම හොද තැනක නෙවේ. ප්‍රසිද්ධ ආයතන දෙක තුනකම interview වලට ගියා. හැම තැනකම දෙවනි තුන්වෙනි එකෙන් අසමත් වුනා. ඔය අතරේ පොඩි තැනක වැඩ කලා. එතනත් මහ රැවටිමක් වුනේ. එතන පාවිච්චි කලේ foxpro. ජවා වලට කොටසක් convert කරනවා. මට කිවා මාස තුනකින් ජාවා වලට මාරු කරන්නම් කියලා. ඒත් අවුරුද්දක් බලන් හිටියා. ජාවා මතකයක්වත් නැහැ. මා ඉද්දිම අලුතෙන් දෙන්නෙක්ව ගත්තා ජාවා වලට. මට එපාම වුනා. එතන ඉන්න තිබුන බලාපොරොත්තුව ඉවරම ඉවරයි. මා එතනින් ඉල්ලා අස් වුනා.

මම එතනින් අස් වෙන්න කලින් ගොඩක් රැකියා වලට ඉල්ලුම් කලා. ඔය අතරේ ප්‍රධානම එකක් තමා ප්‍රසිද්ධ බැංකුවක්. ඒකෙනුත් interview එකෙන් අසමත් වුනා. නමුත් පස්සේ දැනගත්තා එහි වැඩකරනinterview board එකේ හිටි කෙනෙක්ගෙන් දේශපාලනය නැතිකම නිසා අසමත් වුනා නැතිනම් ලකුණු හොදයි කියලා. කොහොමහරි කණගාටුම කරුණ කියන්නේ මට වඩා ලකුණු අඩු දක්ෂතාවයන් තරමක් අඩු අය ගොඩක් දෙනෙක් තේරිලා තිබුණා. මම හොදින් interview එකට මුහුණ දුන්  නිසා ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියා. ඒ වුනත් ඒ හැමදේම නැතිවුනා.

ඉන්පස්සේ හැම බලාපොරොත්තුවක්ම අත් ඇරියා. එදා දවසේ ජිවත් වුනා එතනින් එහා දවසක් ගැන හිතුවේ නැහැ. ඔය අතරේ වෙන ආයතන වල interview වලට ගියා. ඒත් බලාපොරොත්තු තියාගත්තේ නැහැ. ඒ අතරේ teaching වලට අයදුම්පතක් දැම්මේ අම්මා. අම්මා බැන්න නිසා බාගෙට පුරවලා දීලා ආවා. අම්මා ඒක දැම්මා සම්පූර්ණ කරලා. මගේ හිතේ පුංචි බලාපොරොත්තුවක්වත් නොතිබුණ නිසා ඒක ලැබුණා.

ඔය අතර කාලයේ පුංචි පුංචි බලාපොරොත්තු කඩවීම් අනන්තවත් වෙලා තියෙනවා. එහෙම වුන දෙයක් ආයෙමත් අද වුනා. ඒත් කලින් වතාවන් වලට වඩා අද එකෙන් ගොඩක් හිතට දුකයි. මගේ මහත්තයා මාව බලන්න එනවා කියලා සති ගානකට කලින් පොරොන්දු දීලා අන්තිමේ එදා උදේට එන්න බැහැ කියලා තියෙනවා අනන්තවත්. ඉතින් එහෙම දවසට අඩලා රණ්ඩු වෙලා අයෙම ටිකකින් හිත හදාගන්නවා. ආයෙමත් දවසක එන්න කියනවා කියලා හිතාගෙන. මොකද ඉතින් ඒ දවස් වල උදේ එන්න කියලා හරි යන්න පුලුවන්. මමත් කොළඹම නෙ හිටියෙ.

ඔය දේම අදත් වුනා. දෙසැම්බර් මාසේ ඉදන් එන්න කියලා දින දාගෙන සතියෙන් සතිය කල් ගිහින් යන්තම් මේ සතියට යොදා ගත්තා. අද උදේ වෙනකම්ම එනවා කිවා. ඉතින් මම නිවාඩුවක් එහෙම දාලා මගේ වැඩ භාරදුන්නා. අද ගෙදර ආවාම කතා නොකරම ඉදලා රෑ වෙලා කතා කරලා කියනවා. දුක හිතෙන කතාවක් සහ සතුටු හිතෙන කතාවක් තියෙනවා කියලා. මම දුක හිතෙන කතාව මුලින් ඇහුවා. ඒ මාව බලන්න එනවා කිව දවසට එන්න බැහැ කියලා. ඒකට මට ගොඩක් දුකයි. මාස ගණක් බලන් ඉදලා ඉදලා මුණ ගැහිලා ඔහේ කියව කියව ඉන්න තියන් හිටි බලාපොරොත්තු බිදිලා ගියා. ජිවිතේ මහා ලොකු බලාපොරොත්තුවක් නෙවේ වුනත් අනිත් අයට පුංචි බලාපොරොත්තුවක් වුනාට මට ඒක මහ මෙරක් තරම්. ඒ හන්දා වෙන්න ඇති මේ තරම් දුක. ආයෙමත් කවදා හමු වෙන්නද..... තවත් මාස ගාණක්.

ජීවිතේ තව ඉතිරි වෙල තියෙන්නේ එකම එක බලාපොරොත්තුවයි. ඒකවත් සුනු විසුනු වෙලා යන්නේ නැතිව ඉටු වෙනවා නම්. ඒ බලාපොරොත්තුව සුන් වුනොත් මා ජිවත් වෙන එකක් නැහැ. ඒ තරමට මට ඒක දරාගන්න බැරි වේවි. මට් හැම මොහොතෙම හිතෙන්නේ ඇයි මගේ හැම බලාපොරොත්තුවක්ම මෙහෙම බිද වැටෙනේ කියලා. ඒකට කියන්නේ අවාසනාව කියලාද කාලකණ්ණිකම කියලාද....