2013/02/15

දියුණු වෙන්න පුළුවන් බදින්න කලින් විතරමද.......

ගොඩක් දවසකට පස්සේ ලියන්න හිතුනා. ලියන්න දේවල් ගොඩක් හිතේ තිබුනත් ඒ හැමදේම ලියන්න හිතේ නිදහසක් නැහැ. අදනම් හිතා ගත්තා නිකම්ම නිකම් කම්මැලිකමේ ඉන්න වෙලාවේ පෝස්ට් එකක්වත් ලියන්න ඔනේ කියලා. එහෙනම් වැල්වටාරම් නතර කරලා කතාවට යන්නම්කෝ.

මෙහෙමයි මේ කතාව වුනේ මාත් මට වඩා වැඩිමහල් අවුරුදු 50 ආසන්න කරපු අම්මා කෙනෙක් එක්කයි. අදටත් මට තේරෙන්නේ මම හරි කියන එකයි. හේතුව මට ඔප්පු කරන්න දෙයක් තිබුණා. ඒ වගේම තමා ඇන්ටි හිතාන ඉන්නේ එයා හරි කියලා. ඒ එයාටත් ඔප්පු කරන්න දේවල් තියන නිසා වෙන්න ඇති.

දවසක් මම ඔය කිව ඇන්ටි එක්ක කතා කරනවා. මාතෘකාව වුනේ විවාහය. ඉතින් ටිකක් වෙලා කතා කර කර ඉද්දි ඇන්ටි කියනවා එයාගේ පුතාටනම් කසාදයක් බදින්න කැමැත්ත දෙන්නේ අවුරුදු 30 පහු වුනාම කියලා. මටත් හරි පුදුමයි ඇයි එහෙම කියන්නේ කියලා. ඇයි ඉතින් දැන් කාලේ කොල්ලෝ අවුරුදු 28ට කලින් බදිනවානේ. ඒ නිසා මමත් ඇහුවා ඇයි ඇන්ටි එහෙම කියන්නේ කියලා.

ඔන්න දැන් ඇන්ටි මට පැහැදිලි කරනවා කාරණාව.

"මේකනේ දුව... දැන් අපේ පුතාට තවම රස්සාවක් නැහැ. එයාගේ අනාගත බලාපොරොත්තු ගොඩක් තියෙනවා. ඒවා ගොඩක් වෙනස්. අනිත් එක එයාට ගෙදරක් නැහැ. ගෙදරක් හදාගන්න ඕනේ. එහෙම නිකම්ම නිකම් කසාද බැදලා හැමදාම එකම තැන ඉන්න වෙන්නෙ. එයාට ඕනේ හොදට දියුණු වෙන්න. අනික කොල්ලෙක්නේ 30 පහු වුනා කියලා ප්‍රශ්ණයක් නැහැ නෙ. "

"ඉතින් ඇන්ටි බැන්දා කියලා දියුණු වෙන්න බැරි නැහැනේ. අනික එතකොට ගොඩක් හොදට දියුණු වෙන්න පුළුවන්නේ. දෙන්නම හොඳට හම්බකරලා ලස්සනට දියුණු වෙන්න පුළුවන්නේ. අනික ඇන්ටිගේ පුතාට රස්සාවක් තාම නැහැ කියන එක ප්‍රශ්නෙකුත් නැහැනේ. එයාට හොඳට තමන්ගේ දෙයක් කරන් ජීවත් වෙන්න පුළුවන්නේ. දැන් කාලේ කොල්ලෙක් වුනත් 30 පහු වෙනකම් ඉන්නවා කියන්නේ තේරුමක් නැහැ. මොකද ඉතින් එන්න එන්න මිනිස්සුන්ගේ ආයු කාලය අඩු වෙනවානේ"

"අනේ ඔයාට මොනවාද ළමයෝ තේරෙන්නේ, බැදලා දියුණු වෙනවා කියලා හිතාන හිටියාට ඒක කරන්න බැහැ කවදාවත්ම. එතකොට ඉතින් වෙන්න එදා වේල කාලා ජිවත් වෙන්න තමා. අනික එයාට එයාගේ ගමන යන්න බැරි වෙනවා. රස්සාවක් කරලා ගෑණිට කන්න අදින්න දෙන්නයි ළමයි හම්බවුනාම එයාලාගේ වැඩයි විතරයි. ඉන් එහාට ගෙවල් හැදිල්ලක්වත් දියුණුවක්වත් එයා බලාපොරොත්තු වුන් තැනට යන්න වෙන්නේ වත් නැහැ."

"නැහැ ඇන්ටි එහෙම එකක් නැහැ. දෙන්නා සමගිනම් දෙන්නටම එකතු වෙලා ගොඩක් සතුටින් අනාගතය හදාගන්න පුලුවන්. ඒ වගේම තමා ළමයි හිටියා කියලා එයාලාගේ වැඩ් තිබුණා කියලා දියුණු වෙන්න බැරි වෙන්නේ නැහැ. අනිත් එක බදින කෙනා එයාව ගොඩක් හොදින් තේරුම් ගත්ත කෙනෙක් නම් කිසිම ප්‍රශ්ණයක් නැහැනේ එයාගේ බලාපොරොත්තුව ඉෂ්ඨ කරගන්න එයාත් උදවු කරාවිනේ. "

"අනේ දුව මේ අවුරුදු 50 වුන මම අත්දැකිමෙන් කියන දේට වඩා අවුරුදු 25 වුන ඔයා කියන දේ හරි කියලාද ඔයා කියන්නේ"

තවදුරටත් ඇය සමඟ කතා කිරිමෙන් පලක් නැතිබව තේරුණ නිසා මම අනේ මන්දා ඇන්ටි මට තේරෙන හිතෙන විදිහ මම කිවේ. ඇන්ටි කියන දේ හරි ඇති.

මම කතාව එතනින් නතර කලාට ඉන් එහාට මගේ සිතුවිලි මටම වද දුන්නා. මම් වැරදි නැහැ කියන එක. හේතුව එයට හොදම උදාහරණයක් මම දන්නවා.

මම නම් විස්තර කියන්නේ නැතිව කියන්නම් ඒ අය ගැන. අක්කා සාමාන්‍ය පෙළ හොදින් සමත් වෙලා උසස් පෙළ ගණිතය අංශයෙන් හදාරන්න පංති යනවා. අයියාත් විද්‍යා අංශයෙන් පංති යනවා. මේ අතරේ මේ දෙන්නා අතරේ ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්න්වා. නමුත් ඔවුන් වැරදියි. හේතුව ඔවුන් උපරිම වැරැද්දක් කරනවා. මේ නිසාම අක්කාගේ දෙමාපියන් මැදිහත් වෙලා ඔවුන් බන්දලා දෙනවා. ඒ වන විට උසස් පෙළ පළමු වසරේ ඔවුන් දෙදෙනාම. කෙසේහෝ අයියා ඇගළුම් ආයතනයක සුළු රැකියාවකට යනවා. ඔය සිදුවීම වුනේ 1998 හෝ 1999 කාලයේදී.

මේ වෙද්දි අයියාට ලැබෙන වැටුප රුපියල් 3500 පමණ. ඔවුන් පදිංචි වෙලා හිටියේ අක්කාගේ මහ ගෙදර. අක්කාගේ තාත්තා විතරයි රැකියාවක් කලේ. එයාට නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා. එයාලා මධ්‍යම පාංතික පවුලක්. මම මෙහෙම කිවේ එයාලාගේ ආර්ථික තත්වය තීරණය කරන්න. කොහොම වුනත් අයියා එයාටත් අක්කාටත් කෑමට යන වියදමෙන් සුළු මුදලක් ගෙදරට දෙන්න වුනා. ඒ වගේම තමා ඔවුන්ගේ කුඩා පුතාගේ වියදම් දරන්න වුනා.

මේ විදිහට අමාරුවෙන් මුල් කාලයේ ජීවත් වුනා. කොහොම කොහොම හරි අයියා රැකියාවේ උසස්වීම් ලබාගත්තා. අයියාගේ දෙම්ව්පියන් ඉඩමක් දුන්නා. ඒ දෙන්නා මහන්සියෙන් ගෙයක් හැදුවා. දැන් ගේ සම්පූර්ණයෙන්ම හදාල ඉවරයි තට්ටු දෙකට. ඒ වගේම ලීස් කරලා පාවිච්චි කරපු කාර් එකක් ගත්තා. දැන් මාරම සතුටෙන් ඉන්නවා. මුල් කාලේ දුක් වින්දට දැන් කිසි අවුලක් නැහැ.

එයාලා ජීවිතේ පටන් ගත්තේ බිංදුවටත් පහල තැනකින් ඒත් එයාලා අද හොදින් ඉන්නවා. අඩුම තරමේ බදින්න වයස සම්පූර්ණ වෙලාවත් තිබුනේ නැහැ. අද වෙද්දි කිසිම දුකක් කරදරය නැහැ හොදින් ඉන්නවා. ඒ වගේමයි ගොඩක් වයසට යන්න කලින් පුතා ලොකුයි. මම එයාලා කල දේ හරි කියන්නේ නැහැ. ඒත් අපි අතරේ ඉන්න ගොඩක් අය හිතන්නේ දියුණු වෙලා බදින්න ඔනේ. නැතිනම් කවදාවත් දියුණු වෙන්න බැහැ කියලා. ඒත් ඒක එහෙම නෙවේ. අපි උත්සාහ කරනවානම්  මුකුත්ම නැතිව ජීවිතේ පටන් ගෙන හොදට  දියුණු වෙන්න පුළුවන්.

අවුරුදු 30 පහු වෙලා බදින එක කොල්ල්ක්ට අවුලක් නැහැ කිවාට තියෙනවා. අපි මහ ලොකු කාලයක් ජීවත් වෙන්නේ නැහැ. ඒ වගේම 30 බැදලා 31 විතර ළමයෙක් හිටියොත් ඒ ළමයාට අවුරුදු 20 වෙද්දි 51 වයස. අවුරුදු 20 කියන්නේ කැම්පස් යන වයස. ඒ කාලේදි වියදම වැඩියි. ගොඩාක් සල්ලි හම්බ කරලා තිබුනොත් ප්‍රශ්ණයක් නැහැ. නමුත් ඒ වෙද්දිත් හම්බ කරන්න වුනොත්. ඒ වගේමයි ඔය සිතුවිල්ලෙන් ඉද්දි කෙල්ලෙක් එක්ක යාළු වෙලා ඉන්නවානම් ඒ කෙල්ලට අකමැත්තෙන් දාලා යන්න වෙනවා එහෙම නැතිනම් ජීවිත කාලෙම තනි වෙන්න වෙනවා.

යාළු වෙන කෙල්ල අවුරුදු ගානක් බාල නම් ටිකක් හරි කමක් නැහැ කියන්න පුලුවන්. ඒත් බොහොමයක් දෙනා සම්බන්ධකම් ඇති කරගන්නේ අවුරුද්දක් දෙකක් පරතරය තියන අය එක්ක. එහෙම වුනාම කොල්ලා 30 පහු වෙනකම් ඉද්දි කෙල්ලට 29. ගොඩක් ගෙවල් වලින් කෙල්ලෙක්ට ඒ තරම් කල් ඉන්න දෙන්නේ නැහැ. ඊටත් එහෙම හිටියා වුනත් 29 බැදලා 30 විතර අම්මා කෙනෙක් වෙන එක ඒ තරම්ම හොද නැහැ. සමහර විට මෙහෙම ඒ කෙනා වෙනුවෙන්ම බලා ඉදලා 30ත් පහු වුනොත් 32 ක් විතර වුනාම ඒ ගෑණු ළමයාව නොබැද වෙන කෙනෙක් බදින්න තියෙන ඉඩකඩ වැඩියි. බොහෝ විට යෝජිත විවාහ. ඉතින් එහෙම වුනාම කොයි තරම් දියුණු වෙලා හිටියා වුනත් හිතේ සතුට නැති වෙන්න පුලුවන්.

මේ මගේ හැගීම. ගොඩක් දෙනෙක් කියාවි මේ මොන විකාරයක්ද කියලා. ඒත් මේ අපි අතරේ තියන ඇත්ත කතා. ගොඩක් දෙනෙක් හිතන්නේ හරි පටු විදිහට. එක දෙයක් ගැන හිත හිත ඒ මතේ ගැලිලා ඉද්දි ගිලිහිලා යන අනිත් දේවල් ගැන හිතන්නේ නැහැ. ඒ දේවල් මතක් වෙන්නේ ගොඩක් කල් ගියාට පස්සේ...