2010/05/24

මගේ ආදර කතාව 8

ඉතින් ඔන්න කාලෙකට පස්සෙ මම ආයෙමත් ආදර කතාව ලියනවා. ඔයාලාට හිතෙනවා ඇති මේ කතාව කියවනවට වඩා හොදයි වෙන වැඩක් කර ගන්න එක කියලා. ඇයි ඉතින් එක කොටසක් කියවලා ඉතිරි කොටස කියවන්න තව කාලයක් බලන් ඉන්න වෙනවානෙ. ඊටත් වඩා මට දුක හිතුනෙ මගෙ කතාව කියවන මගේ මහත්තයාගෙ යාලුවෙක් දැන් කියවන්නෙ නැතිලු එක කොටසක් ලියලා අනිත් කොටස ලියන්න ගොඩක් කල් යන නිසා. අනේ ඉතින් ඔයාලා නම් එහෙම කරන්න එපා හොදේ.

එදා දෙසැම්බර් 27 සිදුවුන දේ ඔයාලාට මතක ඇති කියලා හිතනවා. එදා අපේ හිත්වල තිබුණ ආදරේ හිර කරන් ඉන්නෙ නැතිව එලියට දැම්මා. ඔයාලා‍ට හිතෙනවා ඇති මම එදා මගෙ මහත්තයාට ආදරෙයි කිව එක වැරදියි කියලා. හේතුව එයාට වෙන කෙනෙක් ඉන්නවා කියලත් මම ඒ වගේ තීරණයක් ගත්ත නිසා. මම එහෙම කිවෙ හිතට එකගව මට කියන්න තිබුණ ‍එකමදේ ඒක නිසා. මම මාව සාධාරණීකරනය කරනවා නෙවේ. එදා මම ආදරේ නැහැ කිවානම් මම බොරැ කිවා වෙනවා. ඒවගේම මේ වෙනකොට ඔයාලාට කතාව විතරක් නෙවේ නැතිවෙන්නෙ මමත් නැහැ.

අපේ ආදරේ එ විදිහට දුකින් පටන් ගත්තා වුනාට එ දවස් වල අපි ගොඩක් සතුටින් හිටියා. දෙසැම්බර් 27 මම ගෙදර ගියෙ සතුටින් එවුනාට හිතෙ දුකක් නොතිබුනාමත් නෙවේ. මම ජීවිතේ ඉස් ඉස් ඉස්සෙල්ලාම ආදරේ කරපු කෙනාගෙ ආදරය මට ලැබුනා එකට මම ගොඩක්ම සතුටු වුනා. ඒවගේම ලොකු දුකක් තිබුනා මට මගෙ මහත්තයා සදහටම හිමි නැහැ, එයාම මට කිවා එයාට මාව බදින්න බැරි වෙයි කියලා. ලොකුම දේ තමා මම මගේ සතුටට වෙන කෙනෙක්ව දුකට පත් කලාද කියලා හිතුන එක.

කොහොම වුනත් මම එදා ගෙදර ගිහින් ඇග සෝදගෙන ඉවර වෙලා අම්මා හදලා දිපු කිරි එකත් අරන් ලගින් ඉදගත්තා. ඒක අම්මාට විශේෂ දෙයක් නෙවේ හේතුව මම පොඩි දවස් වල ඉදලා ඉස්කෝලෙ , class එහෙම ඇරිලා ඇවිත් ලගට වෙලා එදා දවසේ හැම සිදුවීමක්ම කියනවා. මම එදා විස්තරෙත් කියන්න පටන් ගත්තා ඊට කලින් මම අම්මා එක්ක කිව නැති දෙයකුත් තිබුණානෙ ඒ දෙසැම්බර් 20. මම එදා ඉදලා 27 හවස මහත්තයා මගෙන් එයා ලග ඉන්නවාද කියලා අහපු වෙලාව වෙනකම් හැමදේම කිවා. දැන් අපේ අම්මාත් අහගෙන ඉන්නවා පොඩි දෝණිගෙ කතාව. මොකද දන්නවාද අන්තිමට මම දිපු උත්තරේ කියන්නෙ නැතිව ඇද ඇද ඉන්නවා. අම්මාට සිද්ධිය තේරිලා වගේ ඇහුවා ඉතින් ඔයා මොකද කිවෙ කියලා. මාව ටිකක් විතර බයත් වෙලා ඒ වුනාට දැන් කියන්නම එපායැ කියලා මම කැමැත්ත දුන්නා කියලා කිවා.

අපේ අම්මාට හිනාවකුත් ගියා. මොකද දන්නවාද මම ඒ ටික කියාගන්න විදපු දුක දැකලා. ඒත් ඒක යටපත් කරගෙන මගෙන් ඇහුවා ඔයාට එයාව විශ්වාසද කියලා. මම ඔව් කියලා කිවා. අම්මා ටිකක් upset වගේ හිතුන නිසා මම කිවා අම්මා අකමැතිනම් එපා කියනවා නම් මම නතර කරන්නම් කියලා. ඉතින් අම්මා කිවා නැහැ එහෙම කරන්න ඕනෙ නැහැ ඒත් මතක තියාගන්න ඔයා කොළඹ එක්ක ආවෙ උගන්නන්න මිසක් ඕවා කරගන්න එහෙම නෙවේ කියලා. මාත් හොද ලමයා ව‍ගේ දේශනාවට සවන් දිලා හිමින් කාමරයට පසු බැස්සා.

එදා රෑ නිදාගන්න ගියාට නින්ද ගියෙත් නැහැ. වෙනදටනම් ඇදට වැටෙන පමාව විතරනෙ ඒ වගේම තමා මම ලේසියෙන් හින දකින්නෙ නැහැ. එදා ඇදට ගිහින් ගොඩක් වෙලාවකට පස්සෙ නින්ද ගියා විතරක්ම නෙවේ මම හීනයකුත් දැක්කා. හීනෙ මොකක්ද දන්නවාද මහත්තයා මාව කොටුව station එකෙන් කෝච්චියකට නග්ගලා මට අතවනනවා. මාත් යන කෝච්චියේ ඉදලා අත වනනවා. ඒවෙලාවෙ මහත්තයා ඇදලා හිටියේ පොඩි කොටු තියන shirt එකක්.

ඔන්න ඉතින් පහුවදාට එළිවුනා. එ කියන්නෙ දෙසැම්බර් 28. එදත් වෙනදා වගේම මම ලැස්තිවෙලා උදේ කෝච්චියට ගියා. මමයි මහත්තයායි දෙන්නම NIBM ගියා. අපි දෙන්නාටම lectures තිබුණ නිසා දවල් වරැව ගෙවිලා ගියා. හවස lectures ඉවර වුනාම මට මහත්තයා හම්බවුනා. එයා මට කියලා තිබුණා එයා ‍එයාලගෙ buddhist society එකේ අය එක්ක දඹුල්ලෙ යනවා කියලා. මම හිතාන හිටියෙ ඉස්සර වගේ තනියම දෙමටගොඩට ඇවිත් කෝච්චියේ තනියම එන්න. ඒ වුනත් මගෙ මහත්තයා කිවා එයා කොටුවට ඇවිත් මාව කෝච්චියට දාන්නම් කිවා. එයා මා එක්කම මරදානට ආවා. මහත්තයා එදා ඇදලා හිටියෙ කලින් දවසේ මම හීනෙන් දකිද්දි ඇදගෙන හිටපු shirt එකමයි. ඒ හීනෙ වගේම එදා මගෙ මහත්තයා මරදානෙන් බැහැලා මම හිටි කෝච්චිය යනකම්ම එයා අතවනවනා හිටියා.

ඉතින් මම එතන ඉදන් තනියම ගෙදර ආවා. එදා රෑ පුලු පුලුවන් වෙලාවට මහත්තයා මට කතා කලා. මමත් පුලුවන් වෙලාවට කතා කලා. අපි ගොඩක් සතුටින් හිටියා. අදටත් අපි ගොඩක් සතුටින්.

අද කතාව ගොඩක් දිග වුනාට සමාවෙන්න....