2011/03/30

මගේ ආදර කතාව 11.... (ඉතිරිය)

ඊයෙ කතාව දිග වැඩිවෙනවා කියලා දැනුන නිසා මම නතර කලා වුනාට එදා සිදුවීම ඉවර නැහැ කතාව තව තියනවා. අදත් වෙන වෙන දේවල් කියව කියව ඉන්නෙ නැතිව කෙලින්ම කතාව කියන්න පටන් ගන්නම්. කලින් කොටස කියෙව්වෙ නැති අය මගේ ආදර කතාව 11 මෙතනින් කියවන්න.

එදා මම මහත්තයා එක්ක කතා කලා. එයාගෙන් තීරණයක් ගන්න එයාට මාව මගේ ආදරය ඕනෙද කියලා දැනගන්න. ඒත් එයාට එකපාරටම තීරණය කරන්න බැරිවුනා එයා කාවද තෝරගන්නෙ කියලා. මාස 4 දවස් 23ක කාලයක් පැවතුනු මගේ සම්බන්ධයද අවුරුදු තුනකට ආසන්න කාලයක් තිබුන ශෂිගේ සම්බන්ධයද කියලා. එයා එක්ක කතා කරද්දි මට තේරුන එකම දේ නම් එයා මට ගොඩක් ආදරය කරනවා එයාට මාව ඕනෙ ඒ වුනත් මොකක් නමුත් හේතුවක් නිසා එයාට ශෂිව අත්අරින්න පුළුවන් කමකුත් නැහැ. මට අපි ගැන ‍ගොඩක් දුක හිතුනා. මම මගේ මහත්තයාගෙ හිතට තවත් වද දෙන්නෙ නැතිව පහුවදා වෙනකම් කල් දුන්නා තීරණයක් ගන්න. එදා රෑත් වෙනදා වගේම මහත්තයා කතා කලා. මම ටික වෙලාවක් කතා කරලා phone එක තිබ්බා. වෙනදා වගේ එයා එක්ක ඔහේ කියව කියව ඉන්න හිතේ සැහැල්ලුවක් තිබුණෙ නැහැ.

පහුවදා මැයි 21 සදුදා. එදා අපි අපේ project එකට client place එකට යන්න වෙන් කරන් තිබුනා. අපි project එක කරන්න තෝරගෙන තිබුනෙ printing කරන තැනක්. මම දන්න විදිහට ඒක තිබුනෙ රත්මලානෙ. වෙනදා වගේම මම උදේම නැගිටලා යන්න ලැස්තිවුනා. මම ගෙදරින් 6.10ට යන්න ඕනෙ නිසා මම 5.30ට විතර නැගිටලා ලෑස්තිවුනා වෙනදා වගේම. මම ඇග සෝදගෙන කාමරය‍ට එද්දි ගෙදර‍‍ට කෝල් එකක් ආවා අම්මා‍ට. අක්කාටයි මටයි පුදුමයි කෝල් එක ලොකු මාමාගෙන්. ලොකු මාමා අපේ අම්මාගේ ලොකු අයියා. ලොකු මාමා අපේ අම්මා එක්ක ටිකක් අමනාපෙන් හිටිය නිසා අක්කාටත් මටත් පුදුම හිතුනා මේ තරම් උදෙන් කතා කරන්නෙ ඇයි කියලා. අම්මා කෝල් එකට කතා කරලා ඇස් දෙකේ කදුළු පුරවගෙන කාමරේට ආවා. අම්මා අඩනවා. අපේ අම්මා අඩන්නෙ (අපිට පේන්න) දරා ගන්නම බැරි දුකක් දැනුනාම විතරයි. මමයි අක්කයි දෙන්නා දෙපැත්තෙ ඉදන් අහනවා ඇයි කියලා. අම්මා දුක අඩුකරන් කිවා අත්තම්මා (අපේ අම්මාගේ අම්මා) නැතිවෙලා කියලා. අපිටත් ගොඩක් දුකයි. අම්මා 9.30 නුවරට තියන කෝච්චියෙ යනවා කියලා මටත් අම්මා එක්ක යමු කිවා. මට එදා යොදාගෙන තිබුණ වැඩේ කොහොම හරි කරගන්න ඕනෙ නිසා මම කිවා මම වැඩ ටික ඉවර කරගෙන දවල් වෙලා එන්නම් කියලා. අ‍ක්කාට ඒකට තරහ ගිහින් මට බනින්න ගත්තා. අම්මා කමක් නැහැ කිව නිසා එයා බනින එක නතර කලා. ඉන් පස්සෙ මම ලැස්තිවෙලා ගියා.

මට වෙනදා වෙලාවට කෝච්චියට යන්න වෙන්නෙ නැහැ කියලා දැන ගත්තෙ වෙලාව දැක්කාම. ඒත් වෙනදා වගේ මම පරක්කු වෙද්දි මහත්තයාට රාගම ඉන්න කියලා මම කෝල් කලේ නැහැ. මම තනියම යනවා කියලා හිතාන යන්න පිටත් වෙද්දි මහත්තයා කතා කරලා ඇහුවා මම කොහෙද කෝච්චියට එනවද කියලා. මම විස්තරේ කිවා. ඉන්පස්සෙ එයා කිවා එයා රාගම ඉන්නම් මට කලබල නොවි එන්න කිවා. මම බස් එකෙන් බහිද්දි සුපුරුදු තැනටම වෙලා මා එනකම් බලන් ඉන්නවා. මම ගිහින් කතා කලා. ඉන් ටික වෙලාවකට පස්සෙ කොටුවට යන කෝච්චියට නැග්ගා. දොර ලගින් ඇතුලට යන්න මට හිත දුන්නෙම නැහැ. මම දොර ගාවටම වෙලා හිටියා. ටික වෙලාවක් අපි කතා නැතිව ආවා. ඉන්පස්සෙ එයාම කතාව පටන් ගත්තා. එයා මගෙන් අහන්න ගත්තා ඊයෙ ශෂි මට මොනවාද කිවෙ කියලා. එයා කලින් දවසේ මම කිව දේවල් ඇහුවෙ විශ්වාස කලේ නැති නිසා මම ආයෙ කියන්න උත්සාහ ගත්තෙ නැහැ. ඒත් එයා වද කර කර අහන්න ගත්ත නිසා මම කිවා. එයා කෝච්චියට නැග්ග වෙලේ ඉදන් මාව තදින් අල්ල‍ගෙන හිටියා හරියට මම කෝච්චියෙන් එලියට පනියි වගේ. ඇත්තටම ඒවෙලාවෙ මට තිබුන කලකිරිමෙ තරමට එහෙම කරන්නත් හිතිලා තිබුනෙ.

ඒ ඔක්කොම දේවල් අහගෙන ඉදලා එයා එයාගෙ තීරණය දෙන්න පටන් ගත්තා. එයා එයායි ශෂියි ගැන විස්තරයක් කියාන ගියා. මට ඒ කිසි දෙයකින් වැඩක් නැහැ. මම ටික වෙලාවක් අහගෙන ඉදලා ඇහුවා දැන් ඔයාගෙ තීරණය මොකක්ද කියලා. ඒපාර මගෙ මහත්තයා කිසි දෙයක් කියන්නෙ නැතිව ගොඩක් දුකින් මගෙ දිහා බලන් හිටියා. මට තේරුනා එයාගෙ තීරණය මොනවගේ එකක්ද කියලා. ඒත් මම එයාගෙන් ඇහුවා ඒ ගැන. එයා බණ කියන්න ගත්තා. "ඔයා දුක්වෙන්න එපා මට වඩා හොද කෙනෙක් හම්බවෙයි මට කරන්න දෙයක් නැහැ මට ශෂිගෙන් අයින්වෙන්න බැහැ එයාලගෙ ගෙදර අයත් දන්නවා දැන් අවුරුදු තුනකට කිට්ටුව සම්බන්ධය තියනවා මට පුලුවන් කමක් නැහැ එයාගෙන් අයින්වෙන්න ඒ නිසා අපේ සම්බන්ධය නතර කරමු. ඔයා හැමදාටම මගේ යාළුවෙක් වගේ ඉන්නවා නේද මට සමාව දෙනවා නේද කලින් හිතන් හිටියා වගේ මගේ ලගින් ඉදගෙන HD කරනවා නේද මට පොරොන්දු වෙන්න මාත් එක්ක තරහා වෙන්නෙ නැතිව මාත් එක්ක යාළුවෙක් වගේ ඉන්නවා කියලා."
එයා නොනවත්වා කියවනවා මගේ පොරොන්දුව ගන්න අතත් දික් කරගෙන. මට දෙන්න උත්තර නැහැ. මම නිශ්ශබ්දව ඉදලා උත්තර දෙන්න ඕනෙම නිසා දුන්නා. ඒත් මට වචනයක්වත් කියා ගන්න බැහැ මට ඇ‍ඩෙනවා නතර කරගන්න බැරිවම. මගේ මහත්තයාත් ඇස්දෙකේ කදුළු පුරවගෙන මා දිහා බලන් ඉන්නවා. මම කොහොම හරි කදුළු අතරින්ම කියන්න තියන දේවල් කිවා.
"කමක් නැහැ ඔයා කෙලින්ම ඔයාගෙ තීරණය කිව එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. මට ඔයාට පොරොන්දු වෙන්න බැහැ ඔයාගෙ යාළුවෙක් විදිහට ඔයා එක්ක ඉන්නවා කියලාවත් ඔයා ලගින් ඉදගෙන HD කරනවා කියලාවත්. මම උත්සාහ කරලා බලන්නම්. ඔයාට සමාව දෙන්න ඔයා වැරද්දක් කලේ නැහැ. මට කවමදාකවත් ඔයාව අමතක කරන්න බැහැ. ආයෙ කිසිම කෙනෙක්ට මගේ හිතේ ඉඩක් නැහැ. මම හැමදාටම තනියෙන් ඉන්නවා. ඔයාට ආයෙම මාව ඕනෙ වුනොත් හොදට හිතලා ආයෙ නොයන්නම මගේ ලගට එන්න. ආයෙ යන්න නම් කවමදාකවත් මගේ ලගට එන්න එපා ආයෙමත් මට මේ දුක දරාගන්න බැහැ."

මම තව මොන මොනවදෝ කියෙව්වා අසිහියෙන් වගේ. මට අදටත් මතක නැහැ මම කියෙව්වෙ මොනවද කියලා. ඒ වෙනකොට අපි කොටුවට ඇවිත් තිබුණා. අපි කෝච්චියෙන් බැහැලා බස් එකේ NIBM එකට ගියා. බස් ‍එකේදිත් ඇඩුවා හොදටම ඇඩුවා. වෙනදා මගේ ඇස් දෙකට කදුළු පිරුණත් මට බනින මහත්තයා එදා මම ඉකි ගගහා අඩද්දි මගෙ අතින් අල්ලගෙන මගෙ ඔළුව එයාගෙ උරහිසේ තියාන හිටියා. පුංචි දේටත් කදුළු පුරවගන්න මට මේ දුක දරාගන්න අමාරුවග එයා දැනගෙන හිටියා. මහත්තයා මගේ හිත රිදවන්න අකමැති වුනත් අපිට ඇත්තට මුහුණ දෙන්න වුනා.

අදත් කතාව ගොඩක් දිග වැඩි වුනා. එදා දවසේ වුනු සිදුවීම් ගොඩක් තියනවා තව. ඒ දේවල් ඊලග කොටසින් ලියන්නම්. කතාව ගොඩක් දිග වුනා‍ට සමාවෙන්න....