2012/11/22

එන්න හොර බොරු වංචා දන්නේ නැති අය..... දවසින් ඉගෙන ගන්න ...

ගොඩක් දවසකට පස්සේ මේ පැත්තේ ඇවිත් හොර බොරු වංචා ගැන පන්තියක්වත් දාන්න ලෑස්තිද කියලා. අනේ නැහැ.. මේ මාත් ඉගෙන ගත්ත දෙයක් ඔයාලා එක්ක බෙදා හදාගන්න කියලා. කවදා හරි ඔයාලාටත් වැදගත් වේවිනේ...

කට්ටිය දන්නවනේ මේ දවස් වල හැම පාසලකම වගේ වර්ෂ අවසාන වාර විභාගය පැවැත්වෙනවානෙ. ඉතින් මම ඉන්න පාසලේත් ඔය සදහා සුදානම  මේ වාරයේ ආරම්භයේ ඉදන්. දැන් ඔයාලා මගෙන් අහන්න එහෙම එපා ඒ තරම් කාලයක් මොකටද කියලා. ඔය ගැන මම දන්නේ නැහැනේ.. මට වැඩකුත් නැහැනේ. කාලෙකට පස්සේ ලියන්න ගත්ත නිසා වැඩකට නැති දේවල් කියවනවා.

ඉතින් පාසලේ ලොකු ලොක්කෝ කතා වෙලා පසුගිය වාර විභාගයේ ප්‍රශ්ණ පත්‍රවල අකුරු වැරදීම් තිබුණ නිසා අලුත් ක්‍රියාමාර්ගයක් අරන් තිබුනා. අලුත් දෙයක් කිවාට කරන්නේ අදාල අංශවල ගුරුවරුන් තම තමන්ගේ අංශ වල ප්‍රශ්ණ පත්‍ර කුමන ක්‍රමයකින් හරි ටයිප් සෙටින් කරවාගෙන ප්‍රින්ට් කරලා භාරදෙන්න ඕනේ. ඉතින් ඔය වැඩේට යන වියදම පාසල් සංවර්ධන සමිතියෙන් ලබාදෙනවා.

ඔන්න ඉතින් අදාල අංශවලින් වැඩේට බැස්සා. ඔය අතරේ ගුරුවරු අතරේ සමහර අයට සිංහල ටයිපින් පුලුවන් අය ඉන්නවානේ. එයාලාට අමතර ආදායමක් ලබාදෙන්නත් එක්ක ඒ ගුරුවරුන්ට දුන්නා. ඉතින් මටත් ඔය තොප්පිය සෙට් වුනා. මට නම් ඉතින් ඔය අමතර අදායම් වැඩක් නැහැ ලැබෙන වැටුපවත් වැඩක් නැති කොට. ඒ ගැන පස්සේ දවසක කියන්නම්. ඉතින් commerce section එකේ අංශ ප්‍රධානි මට කිවා එයලාගේ ප්‍රශ්ණ පත්‍ර ටයිප් කරලා දෙන්න. මටත් ඉතින් කවුරුත් දෙයක් කිවාම බැහැ කියන්න බැහැනේ. ඒ නිසා මම භාරගත්තා.

මට භාරදුන්න ප්‍රශ්ණ පත්‍ර සියල්ලම හොදට ටයිප් කරලා භාරදුන්නා. ඒත් ඉතින් මම ඒවාට මුදල් ලැබේවි කියලා බලාපොරොත්තුවක් තිබුනේ නැහැ. හේතුව ඉතින් මම පාසලේ ටයිපිස්ට් වගෙන. ඒත් ඉතින් ඒ මැඩම් මට කිවා හැමදෙනාම මුදල් ගන්න එකේ මටත් වවුචරයක් පුරවලා මුදල් ගන්න කිවා. මාත් වවුචරයක් අරගෙන science section එකේ ප්‍රශ්ණ පත්‍ර ටයිප් කරන සර්ගෙන් අහගෙන පුරවා ගත්තා.

හැමදෙනාම දාලා තිබුනේ එක පිටුවකට රුපියල් 60 ගානෙ. මමත් ඒ ගානම දාලා දුන්නා. මම පිටු 43 ටයිප් කරලා තිබුණ නිසා මුලු මුදල 2580 වුනා. කොහොමහරි ඔය මුදල ගත යුතු පිළිවෙලත් අහගෙන මම ගියා අදාල කෙනා ලගට. ඇය පාසල් සංවර්ධන සමිතියේ භාණ්ඩාගරික තුමිය. ඉතින් එයා වවුචර් එකට ටිකක් වෙලා ඔරවන් බලන් ඉදලා කිවා අපෝ එක පිටුවකට රුපියල් 60ක් වැඩියි. මේක සර්ගෙන් අහන්නේ නැතිව බැහැ. අනේ ඉතින් අනිත් අයට හොදයි මට තමා කියලා හිත හිත මම ගියා විදුහල්පතිතුමා හොයාගෙන.

නරක වෙලාව කියන්නේ ඒ වෙලාවේ විදුහල්පතිතුමා නැහැ. පහුවදාට වැඩේ කල්දාලා මම ගියා මගේ වැඩ කරන්න. කොහොමහරි මම පිටුවකට රුපියල් 60 වැඩියි කිව කතාව commerce section එකේ අංශ ප්‍රධාන තුමියටත් කිවා. ඇය කිවා අනිත් අයට දෙන ගානම  මටත් ලබාදෙන්න ඔනේ කියලා. කොහොමහරි පහුවදා මට ගොඩක් වැඩතිබුණ නිසා විදුහල්පතිතුමාව මුණගැහෙන්න පුලුවන් වුනේ පාසල් අවසන් වුනාම. මම මගේ වවුචර් එක පෙන්නුවා. ඉන්පස්සේ ඔහු කිවේ වෙන්ත් දෙයක්. රුපියල් 2000ට වඩා වැඩ් නිසා ගෙවන්නේ කොහොමද කියන එක භාණ්ඩාගරික තුමිය සමග කතා කලයුතු නිසා පහුවදාට එන්න කිවා.

ඔන්න ඉතින් මම පහුවදාත් වවුචරයත් අරන් ගියා. ඉන්පස්සේ විදුහල්පතිතුමා භාණ්ඩාගාරික තුමිය සමග කතාබහ කරලා කොටස් වලට කඩා වෙන වෙනම මුදල් ලබාගන්න පැවසුවා. මම ඒ බව commerce section එකේ ගුරුවරියන්ට කිවාම ඔවුන් වෙන වෙනම වවුචර් පුරවලා දුන්නා. ඉතින් ආයෙමත් අරන් ගියාම භාණ්ඩාගාරික තුමිය කියනවා මෙහෙම ගෙවන්න බැහැ. ඒවාට අදාලව බිල් තියෙන්න ඕනේ කියලා. ඉතින් මම කිවා මේවා ටයිප් කලේ මම මට බිල් දෙන්න බැහැනේ කියලා. ඒ පාර කියනවා බිලක් නැතිව ගෙවන්න බැහැ කොහෙ හරි කඩේකින් බිලක් ඉල්ලාගෙන එන්න කියලා.

ඒ වෙද්දිනම් මට එපාම එපාම වෙලා තිබුනේ. ඊටත් වඩා නීති ගොඩක් කියලා අන්තිමට හොරට බිලක් ගේන්න කිවා. හොරයක් නැතිව ඇත්තම කිව නිසා වැඩේ වුනේ නැහැ. අන්තිමට හොර වැඩේ කරන්න හිතට එකග නැතිව මම එතනින් ආවා මට වැඩේ භාරදුන් කෙනාට විස්තරේ කියලා ඒ මහන්සිය අමතක කරලා දාන්න. මම ඒ අයට විස්තරේ කිවාම එයාලා බිලක් ගෙනත් දෙන්න පොරොන්දු වුනා. කොහොමහරි බිලක් ලැබුනා. ඒත් කොටස් වලට කඩපු මුදල අයෙමත් එකට දාලා තමා බිල දීලා තියෙන්නේ. ඒ නිසා වෙන බිලක් හොයන්න වුනා. කොහොමහරි අපේ අම්මා මට බිල් දෙකක් හොයලා දුන්නා.

එහෙම දීලා අම්මා කිවා ඕක හරි ගියෙ නැතිනම් අතැරලා දාන්න එහෙම බොරු කරන්නත් බැහැ කඩවල් වල මිනිස්සු මොනවද හිතන්නේ එහෙම ඉල්ලද්දි කියලා. ඉතින් අද මම ඒ බිල් දෙකත් අරන් ගිහින් දුන්නාම කිවා මේක කොහෙන්ද ගත්තේ කියලා. මම අම්මාගෙන් තැන අහගත්තේ නැතිනිසා මම හිතට ආවට කිවා super market එකේ පැත්තක communication එකක් තියෙනවා එකෙන් කියලා. ඊට පස්සේ ඇය කියනවා මේ බිල පිලිගන්නවාද කියලා බලන්න ඔනේ කියලා. මම එහෙනම් බලලා තියන්න කියලා කියලත් අයෙම කිවා නැහැ මම සදුදාට අරන් එන්නම් කියලා.

මේ තරම් අමාරුවෙන් ගත්ත බිල නැති කලොත්. කොහොමහරි දැන් සති දෙකක් තිස්සේම මම වවුචරයක් අරන් රස්තියාදු වෙනවා නීතියට වැඩකරන්න බොරු කරන්න ගිහින්. අද හිතාගත්තා සදුදාට බැහැ කිවොත් අයෙත්නම් කවදාවත් වවුචරයක් පුරවන්නේවත් නැහැ කියලා.

කොහොමහරි ගුරුවරුන්ට මුදල් ගන්න බැහැ කියලා අපේ අක්කාගේ නමට වවුචරය ලියලා හොරෙන් කඩෙන් බිල් අරගෙන මම මහන්සි වුන එකට සධාරණය ලබන්න යන්නේ. මම ඇත්තම කිවා මම ටයිප් කලේ කඩවල් වල බිල් ගන්න බැහැ කියලා. ඉතින් එයාලා මට කියලා දුන්නා බොරු කියන්න වංචා කරන්න... ඒකත් නරකම නැහැ...

ලියාගෙන යද්දි ගොඩක් දිග වැඩි වුනා. කියවලා මටත් බැනලා යන්න. හැමදාමත් වගේ මම අදත් කියන්නේ ගුරුවරු කියන්නේ ගුරු වෘත්තිය කියන්නේ මහ එපා කරපු දෙයක්. ඒත් ඔය නරක ගුරුවරු අතරේ තවමත් හොද ගුරුවරුන් ඉන්නවා කියලා මට තේරුනේ දැන් මා සමග ඉන්න අවුරුදු 28 සේවය කල ගුරුමෑණියන්ගෙනුයි. එහෙනම් ගිහින් එන්නම් තවත් ගුරු විරෝධි කතාවක් අරන්.....

2012/11/01

අනේ මෙහෙමත් ගුරුවරු සහ සිසුන්......

ගොඩක් දවසකට පස්සේ ආයෙමත් ලියන්න ගත්තෙ මම අකමැතිම සිදුවීමක් වුන නිසාත් මට ඒ ගැන ලියන්න විවේකයක් ලැබුණු නිසාත්... පහුගිය දවස් වල මීටත් වඩා අප්‍රසන්න සිදුවීමක් වුනා. නමුත් ඒ ගැන ලියන්න හිතෙන්නේ නැති නිසා අද වුනදේ ලියන්න හිතුනා.
අපේ පාසලේ දැන් දින ගණනාවක් ඉදලා මෙවර සාපෙළ ලියන සිසුන්ට සම්මන්ත්‍රණ පැවැත්වෙනවා. පහුගිය දිනවල මෙම සම්මන්ත්‍රණ මාලාව ආරම්භ කලා. මෙය ප්‍රින්සිපල්ගේ නියොගයක් මත ක්‍රියාත්මක කල වැඩසටහනක්. ඔහු පවසා තිබුනා සෑම විෂය භාර ගුරුවරයෙක්ම තමන්ට අදාල විෂය සදහා එක් සම්මන්ත්‍රණයක් හෝ පැවැත්වීම අනිවාර්ය බව. කොහොමහරි පහුගිය දින කිහිපයේ මා දන්නා පරිදි සම්මන්ත්‍රණමාලාව කිසිදු ප්‍රශ්ණයකින් තොරව පවත්වා තිබෙනවා.

නමුත් අද උදෑසන බරපතල ප්‍රශ්ණයක් උද්ගත වුනා. මම අද පාසලට යන විට විනාඩි 5ක් පමණ ප්‍රමාද වුනා වර්ෂාව නිසා. කොහොමහරි තෙමිගෙන ගිහින් වතුර වෙලා ගන්න ක්‍රමයක් හිත හිත දවසේ කරන්න තියන වැඩ ටික හිතමින් ඉන්නකොට දැකලා හිනාවෙලා පමණක් තියෙන සර් කෙනෙක් ආවා. එතන staff room එකක් නිසා මම හිතුවේ එතන ඉන්න මැඩම්ව මුණගැහෙන්න වෙන්න ඇති කියලා. ඇත්තටම එතන Biology lab එකේ රූම් එකක්. මාත් හිනාවෙලා කට හදා ගත්තා අද bio madam නෑ කියන්න.

නමුත් ඉතින් බලාපොරොත්තු නැති විදිහට ඒ සර් ආපු ගමන්ම කිවේ මාවම හොයාගෙන ආවා කියලා. ඉතින් එතකොටම මම දන්නවා මොකක්මහරි මරාලයක් මට කඩාපාත් වෙනවා කියලා. මාත් ඉතින් හොද හිනාවක් එහෙම දාලා ඇහුවා මොකක්ද වෙන්න ඕනේ කියලා.

ඉතින් සර් මට dongle එකක් දීලා කියනවා. අද ඉතිහාසය සම්මන්ත්‍රණය තියෙන්නේ. ඒත් ඉතිහාසය කරන ගුරුවරු තුන්දෙනාගෙන් එක්කෙනෙක්වත් නැහැ. ප්‍රින්සිපල් කිවා මේකෙන් මොනවා හරි දාලා පෙන්වන්න කියලා ඔයාට කියලා.

අනේ ඉතින් මට නෑ බෑ කියවිලි නැති නිසා මාත් හා කිවා. dongle එක අරගෙන install කලා. ඔය අතරේ සර් අහනවා කොහොමද ළමයි හැමදෙනාටම පෙන්වන්නේ කියලා. ඉතින් මම කිවා projector එක ගේන්න වෙනවා කියලා. ඉතින් ඔහු ඒ වැඩේ භාර ගත්තා. මටත් ඒක හොදයි. හේතුව ඒක තියෙන්නේ ප්‍රින්සිපල්ගේ භාරයේ ඉතින් අරන් එද්දි ගෙනිහින් දෙද්දි cable හරියට පෙන්නන්න ඕනේ. හරිම වදයක්. නීති ගොඩයි.

සර්ගේ dongle එක connect වෙන්නේ නැති නිසා මගේ ලෝබකම පැත්තක තියලා මගේ dongle එකෙන් හොයන්න ගත්තා මොනවද පෙන්වන්නේ කියලා. මුලින්ම NIE එකෙන් ඉතිහාසය syllabuse එක download කරලා බැලුවා මොනවද අදාල කියලා. ඒ තියෙන දේවල් හෙව්වාට වැදගත් යමක් නැහැ පෙන්වන්න පුලුවන්. අන්තිමට ඒ සර්ට මතක් වුනා මොනවාහරි CD තියෙනවාද කියලා.

කොහොමහරි අමාරුවෙන් අපේ Computer lab එක බාරව ඉන්න සර්ගෙන් විද්‍යාව විෂයට අදාල CD ලැබුනා. කොහොමහරි අවශ්‍ය කරන අම්පන්න ඔක්කොම අරන් ප්‍රධාන ශාලාවට ගිහින් අමුණලා ළමයි නිෂ්ශබ්ද කරවලා CD දැම්මා. ඒත් ඉතින් ඒ ළමයි විනාඩි 5 ක්වත් නිහඩව හිටියේ නැහැ. කෑගහන්න ගත්තා. නිෂ්ශබ්ද කරවන වෙලාවේ විතරයි. ඇත්තටම ඒ තරම් නැහැදුණු ළමයි පිරිසක් මම ඒ දැක්කාමයි. සූ කියනවා කෑගහනවා තේරුමක් නැති ඒවාට අත්පුඩි ගහනවා. හූ කියනවා. කිසිම හැදියාවක්වත් අලුත් දෙයක් දැන ගැනීමේ වුවමනාවක්වත් නැහැ.

එහෙම අමාරුවෙන් CD එකහමාරක් පෙන්නුවා. නමුත් අර සර්ටත් මටත් එතන හිටිය තව ගුරුවරියන් දෙන්නෙක්ටත් තේරුණා තේරුමක් නැති වැඩක් කියලා. ඉතින් අපි වැඩේ නතර කලා. කොහොම හරි ගෙනාව උපකරණ ගෙනියන්න ලෑස්ති කරන විටත් ළමයි හොදටම කෑගැහුවා. එපමණක් නොවේ එක ළමයෙක් හොද පැහැදිලිව හූ කිවා. අර සර්ට හොදටම තරහා ගිහින් හිටියේ. තරහා තවත් උග්‍ර වුනා. අර ළමයා ලගට ගිහින් ළමයාව නවලා දුන්නා පිට හරහා පාරවල් දෙකක් පුදුම සද්දෙකින්. මුළු ශාලාවම නිෂ්ශබ්ද වුනා පුදුම විදිහට. ඔන්න ඔහොම ඉතිහාසය සම්මන්ත්‍රණය අවසන් වුනා.

හොදම සිදුවීම වුනේ ඉතිහාසය උගන්වන ගුරුවරු දෙදෙනෙක්ම එදින නිවාඩු. එක් ගුරුවරියක් උසස් පෙළ කලා අංශයේ. ඇය අද පාසලට පැමිණියත් සම්මන්ත්‍රණය පවත්වනවා නේද අනිත් ගුරුවරු නැහැ නේද කියලා නිකමටවත් ඇවිත් හැරී බැලුවේ වත් නැහැ. අදාලත්වයක් නැති අර සර් සහ පන්ති භාර ගුරුවරියන් දෙදෙනෙක් එතන සිටියා. ඒ ඇර කොහෙත්ම සම්බන්ධයක් නැති මම එතන ගිහින් ළමයින්ට යම් දෙයක් දෙන්න උත්සාහ කලා. නමුත් ඒ ළමුන්ටත් කිසිම උවමනාවක් නැති නිසා ඒ උත්සාහයත් තේරුමක් නැති දෙයක් වුනා.

මට හිතුන දේ තමා එවන් ගුරුවරුන්ටම ළමයි හැඩ ගැසිලාද කියලා. වැඩක් කරන ගුරුවරයෙක්ට වැඩක් කරන්නත් ඉඩ දෙන්නේ නැහැ. ඒ ගුරුවරයෙක්ගෙන්වත් වැඩක් ගන්න ළමයින්ට හිතෙන්නෙත් නැහැ. මට ඇවිත් වැඩේට සහය ඉල්ලු සර්ට ගොඩක් ලොකු උවමනාවක් තිබුනා ඒ ළමයින්ට කාලය නාස්ති කරමින් ඉන්න ඉඩ නොහැර යම් දෙයක් ලබා දෙන්න. ඒත් ඔහුගේ උත්සාහය ව්‍යර්ථ වුනා......