2012/11/22

එන්න හොර බොරු වංචා දන්නේ නැති අය..... දවසින් ඉගෙන ගන්න ...

ගොඩක් දවසකට පස්සේ මේ පැත්තේ ඇවිත් හොර බොරු වංචා ගැන පන්තියක්වත් දාන්න ලෑස්තිද කියලා. අනේ නැහැ.. මේ මාත් ඉගෙන ගත්ත දෙයක් ඔයාලා එක්ක බෙදා හදාගන්න කියලා. කවදා හරි ඔයාලාටත් වැදගත් වේවිනේ...

කට්ටිය දන්නවනේ මේ දවස් වල හැම පාසලකම වගේ වර්ෂ අවසාන වාර විභාගය පැවැත්වෙනවානෙ. ඉතින් මම ඉන්න පාසලේත් ඔය සදහා සුදානම  මේ වාරයේ ආරම්භයේ ඉදන්. දැන් ඔයාලා මගෙන් අහන්න එහෙම එපා ඒ තරම් කාලයක් මොකටද කියලා. ඔය ගැන මම දන්නේ නැහැනේ.. මට වැඩකුත් නැහැනේ. කාලෙකට පස්සේ ලියන්න ගත්ත නිසා වැඩකට නැති දේවල් කියවනවා.

ඉතින් පාසලේ ලොකු ලොක්කෝ කතා වෙලා පසුගිය වාර විභාගයේ ප්‍රශ්ණ පත්‍රවල අකුරු වැරදීම් තිබුණ නිසා අලුත් ක්‍රියාමාර්ගයක් අරන් තිබුනා. අලුත් දෙයක් කිවාට කරන්නේ අදාල අංශවල ගුරුවරුන් තම තමන්ගේ අංශ වල ප්‍රශ්ණ පත්‍ර කුමන ක්‍රමයකින් හරි ටයිප් සෙටින් කරවාගෙන ප්‍රින්ට් කරලා භාරදෙන්න ඕනේ. ඉතින් ඔය වැඩේට යන වියදම පාසල් සංවර්ධන සමිතියෙන් ලබාදෙනවා.

ඔන්න ඉතින් අදාල අංශවලින් වැඩේට බැස්සා. ඔය අතරේ ගුරුවරු අතරේ සමහර අයට සිංහල ටයිපින් පුලුවන් අය ඉන්නවානේ. එයාලාට අමතර ආදායමක් ලබාදෙන්නත් එක්ක ඒ ගුරුවරුන්ට දුන්නා. ඉතින් මටත් ඔය තොප්පිය සෙට් වුනා. මට නම් ඉතින් ඔය අමතර අදායම් වැඩක් නැහැ ලැබෙන වැටුපවත් වැඩක් නැති කොට. ඒ ගැන පස්සේ දවසක කියන්නම්. ඉතින් commerce section එකේ අංශ ප්‍රධානි මට කිවා එයලාගේ ප්‍රශ්ණ පත්‍ර ටයිප් කරලා දෙන්න. මටත් ඉතින් කවුරුත් දෙයක් කිවාම බැහැ කියන්න බැහැනේ. ඒ නිසා මම භාරගත්තා.

මට භාරදුන්න ප්‍රශ්ණ පත්‍ර සියල්ලම හොදට ටයිප් කරලා භාරදුන්නා. ඒත් ඉතින් මම ඒවාට මුදල් ලැබේවි කියලා බලාපොරොත්තුවක් තිබුනේ නැහැ. හේතුව ඉතින් මම පාසලේ ටයිපිස්ට් වගෙන. ඒත් ඉතින් ඒ මැඩම් මට කිවා හැමදෙනාම මුදල් ගන්න එකේ මටත් වවුචරයක් පුරවලා මුදල් ගන්න කිවා. මාත් වවුචරයක් අරගෙන science section එකේ ප්‍රශ්ණ පත්‍ර ටයිප් කරන සර්ගෙන් අහගෙන පුරවා ගත්තා.

හැමදෙනාම දාලා තිබුනේ එක පිටුවකට රුපියල් 60 ගානෙ. මමත් ඒ ගානම දාලා දුන්නා. මම පිටු 43 ටයිප් කරලා තිබුණ නිසා මුලු මුදල 2580 වුනා. කොහොමහරි ඔය මුදල ගත යුතු පිළිවෙලත් අහගෙන මම ගියා අදාල කෙනා ලගට. ඇය පාසල් සංවර්ධන සමිතියේ භාණ්ඩාගරික තුමිය. ඉතින් එයා වවුචර් එකට ටිකක් වෙලා ඔරවන් බලන් ඉදලා කිවා අපෝ එක පිටුවකට රුපියල් 60ක් වැඩියි. මේක සර්ගෙන් අහන්නේ නැතිව බැහැ. අනේ ඉතින් අනිත් අයට හොදයි මට තමා කියලා හිත හිත මම ගියා විදුහල්පතිතුමා හොයාගෙන.

නරක වෙලාව කියන්නේ ඒ වෙලාවේ විදුහල්පතිතුමා නැහැ. පහුවදාට වැඩේ කල්දාලා මම ගියා මගේ වැඩ කරන්න. කොහොමහරි මම පිටුවකට රුපියල් 60 වැඩියි කිව කතාව commerce section එකේ අංශ ප්‍රධාන තුමියටත් කිවා. ඇය කිවා අනිත් අයට දෙන ගානම  මටත් ලබාදෙන්න ඔනේ කියලා. කොහොමහරි පහුවදා මට ගොඩක් වැඩතිබුණ නිසා විදුහල්පතිතුමාව මුණගැහෙන්න පුලුවන් වුනේ පාසල් අවසන් වුනාම. මම මගේ වවුචර් එක පෙන්නුවා. ඉන්පස්සේ ඔහු කිවේ වෙන්ත් දෙයක්. රුපියල් 2000ට වඩා වැඩ් නිසා ගෙවන්නේ කොහොමද කියන එක භාණ්ඩාගරික තුමිය සමග කතා කලයුතු නිසා පහුවදාට එන්න කිවා.

ඔන්න ඉතින් මම පහුවදාත් වවුචරයත් අරන් ගියා. ඉන්පස්සේ විදුහල්පතිතුමා භාණ්ඩාගාරික තුමිය සමග කතාබහ කරලා කොටස් වලට කඩා වෙන වෙනම මුදල් ලබාගන්න පැවසුවා. මම ඒ බව commerce section එකේ ගුරුවරියන්ට කිවාම ඔවුන් වෙන වෙනම වවුචර් පුරවලා දුන්නා. ඉතින් ආයෙමත් අරන් ගියාම භාණ්ඩාගාරික තුමිය කියනවා මෙහෙම ගෙවන්න බැහැ. ඒවාට අදාලව බිල් තියෙන්න ඕනේ කියලා. ඉතින් මම කිවා මේවා ටයිප් කලේ මම මට බිල් දෙන්න බැහැනේ කියලා. ඒ පාර කියනවා බිලක් නැතිව ගෙවන්න බැහැ කොහෙ හරි කඩේකින් බිලක් ඉල්ලාගෙන එන්න කියලා.

ඒ වෙද්දිනම් මට එපාම එපාම වෙලා තිබුනේ. ඊටත් වඩා නීති ගොඩක් කියලා අන්තිමට හොරට බිලක් ගේන්න කිවා. හොරයක් නැතිව ඇත්තම කිව නිසා වැඩේ වුනේ නැහැ. අන්තිමට හොර වැඩේ කරන්න හිතට එකග නැතිව මම එතනින් ආවා මට වැඩේ භාරදුන් කෙනාට විස්තරේ කියලා ඒ මහන්සිය අමතක කරලා දාන්න. මම ඒ අයට විස්තරේ කිවාම එයාලා බිලක් ගෙනත් දෙන්න පොරොන්දු වුනා. කොහොමහරි බිලක් ලැබුනා. ඒත් කොටස් වලට කඩපු මුදල අයෙමත් එකට දාලා තමා බිල දීලා තියෙන්නේ. ඒ නිසා වෙන බිලක් හොයන්න වුනා. කොහොමහරි අපේ අම්මා මට බිල් දෙකක් හොයලා දුන්නා.

එහෙම දීලා අම්මා කිවා ඕක හරි ගියෙ නැතිනම් අතැරලා දාන්න එහෙම බොරු කරන්නත් බැහැ කඩවල් වල මිනිස්සු මොනවද හිතන්නේ එහෙම ඉල්ලද්දි කියලා. ඉතින් අද මම ඒ බිල් දෙකත් අරන් ගිහින් දුන්නාම කිවා මේක කොහෙන්ද ගත්තේ කියලා. මම අම්මාගෙන් තැන අහගත්තේ නැතිනිසා මම හිතට ආවට කිවා super market එකේ පැත්තක communication එකක් තියෙනවා එකෙන් කියලා. ඊට පස්සේ ඇය කියනවා මේ බිල පිලිගන්නවාද කියලා බලන්න ඔනේ කියලා. මම එහෙනම් බලලා තියන්න කියලා කියලත් අයෙම කිවා නැහැ මම සදුදාට අරන් එන්නම් කියලා.

මේ තරම් අමාරුවෙන් ගත්ත බිල නැති කලොත්. කොහොමහරි දැන් සති දෙකක් තිස්සේම මම වවුචරයක් අරන් රස්තියාදු වෙනවා නීතියට වැඩකරන්න බොරු කරන්න ගිහින්. අද හිතාගත්තා සදුදාට බැහැ කිවොත් අයෙත්නම් කවදාවත් වවුචරයක් පුරවන්නේවත් නැහැ කියලා.

කොහොමහරි ගුරුවරුන්ට මුදල් ගන්න බැහැ කියලා අපේ අක්කාගේ නමට වවුචරය ලියලා හොරෙන් කඩෙන් බිල් අරගෙන මම මහන්සි වුන එකට සධාරණය ලබන්න යන්නේ. මම ඇත්තම කිවා මම ටයිප් කලේ කඩවල් වල බිල් ගන්න බැහැ කියලා. ඉතින් එයාලා මට කියලා දුන්නා බොරු කියන්න වංචා කරන්න... ඒකත් නරකම නැහැ...

ලියාගෙන යද්දි ගොඩක් දිග වැඩි වුනා. කියවලා මටත් බැනලා යන්න. හැමදාමත් වගේ මම අදත් කියන්නේ ගුරුවරු කියන්නේ ගුරු වෘත්තිය කියන්නේ මහ එපා කරපු දෙයක්. ඒත් ඔය නරක ගුරුවරු අතරේ තවමත් හොද ගුරුවරුන් ඉන්නවා කියලා මට තේරුනේ දැන් මා සමග ඉන්න අවුරුදු 28 සේවය කල ගුරුමෑණියන්ගෙනුයි. එහෙනම් ගිහින් එන්නම් තවත් ගුරු විරෝධි කතාවක් අරන්.....