2013/04/26

මගේ බෝනික්කී............

අපේ පවුලේ උන්නේ අප්පච්චියි අම්මායි අක්කායි මමයි. අපේ පුංචි කැදැල්ලේ සතුට සාමය පිරිලා තිබුනා අපිට මහා ලොකුවට සල්ලි භාගේ නැති වුනත්. ඒත් අපේ අවසානාවටමද මන්දා හිටි හැටියේම අපේ පවුලේ මුදුන් මුල අපිට නැතිව ගියා. අපි තුන්දෙනා තනි වුනා. ඒ මගේ හුරතල් පුංචි වයස. කාලය ඔහේ ගෙවිලා ගියා ගොඩක් දුකසේ.

අක්කායි මමයි සෙල්ලම් කලේ සෙල්ලම් බඩු නැතිව. අක්කාට තිබුණා සෙල්ලම් බඩු ටිකක්. ඒත් මට එහෙමවත් නැහැ. අම්මාට අපි දෙන්නාට සෙල්ලම් බඩු අරන් දෙන්න තරම් ආර්ථික හයියක් තිබුනේ නැහැ. අපි ඉල්ලුවෙත් නැහැ. අපි සෙල්ලම් කරන්න යනවා අක්කාගේ යාළුවෝ එක්ක. ඒ අක්කලා සෙල්ලම් ගෙවල් දාන්න ලස්සන ලස්සන බෝනික්කෝ ගේනවා. අපේ අක්කාටනම් ඒ බෝනික්කන් දෙනවා. ඒත් මම ගොඩක් පොඩි නිසා මටනම් ඒවා දෙන්නේ නැහැ.

ලස්සන ගවුමක් ඇඳගෙන රත්තරං පාට කොණ්ඩේ පෝනිටේල් දෙකක් දාගෙන සින්දු කියන ඒ ලස්සන බෝනික්කන් නලවන්න එයාලා අරන් සෙල්ලම් ගෙදර අම්මා වෙන්න මාත් ගොඩක් ආසා වුනත් මම ඒවා ඉල්ලන්න ගියේ නැහැ. එහෙම වුනොත් අක්කාටත් සෙල්ලම් කරන්න බෝනික්කන් දෙන්නෙ නැති වේවිනෙ.

ඔහොම හැමදාම ආසාව හිතේ තියන් සෙල්ලම් කරන්න ගියාට සෙල්ලම් කරන්න සතුටක් නැහැ හරිම දුකයි ලස්සන ලස්සන බෝනික්කන් දකිද්දි. ඒ නිසාම දවසක් මම රෑ අම්මාගේ තුරුලේ නිදන් ඉන්දැද්දි අම්මාට කීවා.
"අම්මේ මට සෙල්ලම් කරන්න බෝනික්කෙක් ගෙනත් දෙන්නකෝ."
"හ්ම්ම් බලමු පොඩි පුතේ ලබන මාසේ පඩියෙන්"
"අම්මා මට ඕනේ ලස්සන රත්තරං පාට කොණ්ඩයක් තියෙන සින්දු කියන එක්කෙනෙක් හොදේ"
"හරි හරි මගෙ දුව දැන් නිදාගන්නකෝ."
"මගේ හොඳ අම්මා...."

අම්මා මට බෝනික්කෙක් අරන් දේවි කියන බලාපොරොත්තුවෙන් මම අම්මාට තුරුල් වෙලා නිදා ගත්තා. මම හීනෙන් දැක්කා අම්මා මට ලස්සනම ලස්සන බෝනික්කෙක් ගෙනත් දීලා මමයි අක්කායි ඒ බෝනික්කා එක්ක සෙල්ලම් කරනවා.

ඔහොම දවස් ගෙවිලා යද්දි මට තවත් අක්කාගේ යාළුවන් එක්ක සෙල්ලම් කරන්න යන්න හිත දුන්නේ නැහැ. ඒ මට බෝනික්කන් දකිද්දි සෙල්ලම් කරන්න ඉල්ලන්න ආසා හිතුනත් ඉල්ලන්න හිත දුන්නේ නැහැ. ඒ නිසාම මම අක්කා එක්ක සෙල්ලම් කරන්න යන්නේ නැතිව ගෙදර නතර වුනා.

අම්ම එනකම් අක්කායි මමයි ඉස්කෝලේ ඇරිලා ගෙදර ඇවිත් ඇඳුම් මාරු කරන් හැමදාම සෙල්ලම් කරන්න ගියා. ඒත් පස්සේ පස්සේ අක්කා සෙල්ලම් කරන්න යද්දි මම තනියෙන් ගෙදර පිටි පස්සේ ගල උඩට වෙල තනියෙන් කෝම්පිට්ටු හැදුවා. සෙල්ලම් ගෙවල් දැම්මා. අම්මා එනකම්ම තනියෙන් ඔහේ එතන හිටියා. අම්මා ආවාම අම්මාගේ පස්සේ වැටිලා හිටියා අක්කා ගෙදර එනකම්ම. සමහර වෙලාවට ඉස්කෝලේත් හවස පංතියෙත් මහන්සි වෙලා ගෙදර එන අම්මාට මාව හිසරදයක් වෙන්න ඇති. ඒත් අම්මා මට බැන්නේ නැහැ කවදාවත්ම.

කොහොමින් කොහොමහරි අමාරුවෙන් මාසයක් ගෙවිලා ගියා. අම්මාගේ පඩි දවස. එදා හවස මම නොඉවසිල්ලෙන් මග බලන් හිටියා අම්මා ගෙදර එනකම්. මට ලස්සනම ලස්සන රත්තරං පාට කොණ්ඩයක් තියෙන සින්දු කියන බෝනික්කෙක් ගේනකම්. මට සෙල්ලම් කරන්න ඕනේ වුනෙත් නැහැ. මම ඉස්සරහා ජනේලේ ලඟ පුටුවක් තියාන එලිය බලාන හිටියේ අම්මා එනකම්.

ඈතින් අම්මා එනවා දැක්කා. මම පුටුවත් පෙරලාගෙන ගිහින් දොර ඇරියා. මම නොඉවසිල්ලෙන් අම්මාගේ අතේ තිබුණ බෑග් දිහා බැලුවා. ඒත්..... අම්මාගේ අතේ තිබුනේ වෙනදා ඉස්කෝලේ ගෙනියන හෑන්ඩ් බෑග් එකයි පොත් බෑග් එකයි විතරයි. මට හදිස්සියි මගේ බෝනික්කි දකිනකම්. මම අම්මාගේ අතේ  එල්ලුනා.
"අම්මා... කෝ මට බෝනික්කෙක් ගෙනාවද? අද අම්මාගේ පඩි දවසනේ..."
"අද පඩි දවස තමා පුතේ.. ඒත් හෙට සෙනසුරාදානෙ. හෙට මම ටවුමට ගිහින් ගෙනත් දෙන්නම්"
"අනේ අම්මා....."

මගේ ඇස් දෙකේ කඳුළු පිරුණා... විනඩියක් යන්නටත් කලින් මගේ කම්මුල් දිගේ මටත් නොදැනිම කදුලු පේලි ගලාන ගියා..... මම දුවන් ගිහින් ඇඳට පැනලා මගේ කොට්ටේ තුරුල් කරගත්තා.
"පොඩි පුතේ..... හෙට අරන් දෙන්නම්...." අම්මා මගේ ලඟට ඇවිත් ඔළුව අතගාලා මාව සැනසුවා.
මම හිත සනසාගෙන ඇඬුම නතර කලා. මාසයක් බලන් හිටි එකේ එක දවස කමක් නැහැ කියලා.

පහුවදා අම්මා අක්කා එක්ක ටවුමට ගියා. මාව ලඟ ගෙදරක තියලා ගියා. මම එහේ ඉදන් සෙල්ලම් කරන ගමන් මග බල බලා හිටියා අම්මලා එනකම්. ඈතින් අම්මායි අක්කායි බඩු මලු අරන් එනවා දැක්කාම මම දිව්වා ඉස්සරහාට. ගේ ඇතුලට ගිහින් බෑග් එකෙන් මගේ ලස්සන බොනික්කාව අරන් දෙනකම් මට ඉවසිල්ලක් තිබුනේ නැහැ. මගේ හදිස්සිය දැක්ක අම්මා
"හොඳ පුතා වගේ අතනින් ඉදගෙන තෑගි ගන්න එන්න."
මම දුවලා ගිහින් ඉද ගත්තා.
"මෙන්න දැන් තෑගි ලබන්නේ ගෙදර ඉන්න හොඳම ළමයා .............." කියලා මගේ නම කීවා.
මමත් අම්මා ලඟට ගිහින් ලස්සනට ඔළුව නමලා අත්දෙකෙන්ම තෑග්ග ගත්තා. මගේ ලස්සන සින්දු කියන බෝනික්කි. මම ඉක්මනටම බ්‍රවුන් පේපර් බෑග් එක ඇරලා බැලුවා.
ඒ බැලුව මගේ ඇස් දෙකට කඳුලු පිරුනා.
"අම්මා.... මම ඉල්ලුවේ ලස්සන රත්තරං පාට කොණ්ඩයක් තියෙන සින්දු කියන බෝනික්කෙක්නේ" මම බෑග් එකෙන් බෝනික්කා එළියට ගන්න ගමන් කඳුලු පෙරමින් කීවා.

"පොඩි පුතේ මේ මාසේ අම්මාට වියදම් වැඩියි ගෙවල් කුලීත් වැඩි කරලා. ගෙදර පදිංචි වෙන්න වැඩ ටික ඉවර කරන්නත් ඕනේනෙ. මගෙ පුතාට මම හෙමින් සැරේ ඒ වගේ ලස්සන බෝනික්කෙක් අරන් දෙන්නම්" අම්මා ඇඩුම් ස්වරයෙන් මගේ ඔලුව අතගාමින් කිවා.
"ඔව් නංගි අම්මා පස්සේ අරන් දේවි. අපි එතකම් ඔය බෝනික්කාගෙන් සෙල්ලම් කරමු." අක්කා මගේ අතින් අල්ලාගෙන එහෙම කිවේ මගේ හිත හදන්න.
ඒත් මගේ පුංචි හිත හුගාක් රිදුනා. මම රෝසම රෝස පාට තට්ට බෝනික්කාව එතනම බිම දාලා
"මගේ අප්පච්චි හිටියා නම් මට ලස්සන බෝනික්කෙක් ගෙනත් දේවි සින්දු කියන බෝනික්කියක්. අම්මා මට ආදරේ නැහැ." මම එහෙම කියාගෙන ඇඳට ගිහින් මගේ කොට්ටේ බදාගෙන ඇඬුවා හොඳටම.

අම්මා මගේ ලඟට ඇවිත් ඔළුව අත ගගා හිටියා ටික වෙලාවක්. අම්මාගේ උණු කඳුලක් මගේ කම්මුලකට වැටුණා. මම ඔලුව උස්සලාවත් අම්මා දිහා බැලුවේ නැත්තේ අම්මා අඬනවා කියලා දැනුන නිසා. මහ පොළව වගේ හැම දුකක්ම දරාන ඉන්න අම්මා අඬනවා බලන්න මට පුළුවන් කමක් තිබුනේ නැහැ. අම්මා ටිකක් ඉදලා ගියා. මම එහෙමම අඬලා අඬලා නිදා ගත්තා.

දවස් ගාණක් යනකම් මම වැඩි කතා බහක් නැතිව සෙල්ලම් කරන්නේත් නැතිව පැත්තකට වෙලා හිටියා. ටික දවසකින් මම අම්මා ගෙනත් දුන්නු රෝස පාට කොණ්ඩේ නැති සින්දු කියන්නෙත් නැති බෝනික්කා එක්ක සෙල්ලම් ගෙදරක් දැම්මා. අක්කාත් මා එක්ක සෙල්ලම් කලා වැඩි දවසක් යාළුවො එක්ක සෙල්ලම් කරන්න නොයා.

අම්මා මගේ ඒ බෝනික්කාට පොඩි ගවුමක් මහලා දුන්නා. මම ආයෙමත් කලින් වගේම කාලෙ ගෙවුවා හිත හදාගෙන අම්මාට සල්ලි හම්බ වුනාම ලස්සන රත්තරං පාට කොණ්ඩයක් තියෙන සින්දු කියන බෝනික්කෙක් ගෙනත් දේවි කියලා.

ඉන්පස්සේ අපි අපේම කියලා හදපු අළුත් ගෙදර පදිංචියට ගියා. කාලය ඔහොම ගෙවිලා යද්දි අගෝස්තු නිවාඩුවට දවස් ගාණක් තියෙද්දි අපේ චූටි මාමා රට ඉදන් ආවා. අපි දවසක්  ගියා මාමාව බලන්න ලොකු මාමලාගේ ගෙදර. මම චූටි මාමාට අපේ අළුත් ගෙදර විස්තර කිය කියා පස්සෙන් ඇවිදිද්දි මාමා බඩු වගයක් හොයන්න මාමාගේ බෑග් ඇද්දා. ලග හිටි මගේ ඇහැ ගියා බෑග් එකේ තිබිලා එලියෙන් තිබ්බ දෙයක් දැකලා. ඒ තමා ලස්සන රත්තරං පාට කොණ්ඩයක් තියෙන ලස්සන ගවුමක් ඇදපු මම ආසා කල බෝනික්කියක්. එක්කෙනෙක් නෙවෙ තුන් දෙනෙක්ම. මගේ හැමදේම මම මාමාට කියනවා වුනත් මට බෝනික්කාට ගොඩක් ආසා හිතුනත් මම ඉල්ලුවේ නැහැ.

ලස්සනම ලස්සන බෝනික්කන් තුන් දෙනාගෙන් ඇස් ඉවතට අරන් වේගෙන් ඇසිපිය ගහලා ඇස් අගට උනලා තිබුණ කඳුළු වේල ගෙන ආයෙමත් මාමාගේ පස්සෙන් වැටුණා. එදා හවස් වෙලා අපි ගෙදර ගියා. පහුවදා රෑ කෑමට මාමායි නැන්දම්මායි අපේ ගෙදර ආවා. අපිට මාමා තෑගි ගෙනාවා. අම්මාට සාරියක්. අක්කාට ගවුම් රෙද්දක්. මට ගවුම් රෙද්දකුයි අර මාමාගේ බෑග් එකේ හිටි ලස්සනම ලස්සන බෝනික්කියෙකුයි.

මට ගොඩක් සතුටු හිතුනා මම ආසාවෙන් හිටි බෝනික්කියක් මට ලැබුණාට. ඒ බෝනික්කි ලස්සන සින්දුවක් කිය කියා එයාගේ පුංචි බෝනික්කාව නලවනවා අතේ තියාන. මට මාමා දුන්න බෝනික්කාට පුංචි බෝනික්කා බබෙක් හිටියේ නැහැ. ඒත් එයා අත් දෙක ඒ විදිහට තියන දෙපැත්තට කැරකෙනවා සින්දු කිය කියා. මාමා අනිත් අයට බෝනික්කන් දෙද්දි එක්කෙනෙක්ගේ බබා බෝනික්කා කැඩුණ නිසා මගේ එකේ එක්කෙනාව දෙන්න වෙලා. ඒත් මාමා මට එහෙම කිවෙ නැහැ. ඒ වුනත් මට ගොඩක් සතුටු හිතුනා මට මම ආසා බෝනික්කිව ලැබුණ නිසා.

මම එදා ගොඩක් රෑ වෙනකම් සෙල්ලම් කලා අක්කාත් එක්ක. ඒ වෙද්දි අක්කා සෙල්ලම් කරන වයසෙන් ටිකක් ඈත් වෙලා තිබුණත් එයා මා එක්ක සෙල්ලම් කලා. අන්තිමේ අම්මා සැරකල නිසයි නිදා ගත්තේ පහුවදා ඉස්කෝලේ යන්න තියෙන නිසා.

මම මගේ බෝනික්කිව පරිස්සමින් අරන් තිබ්බා. හැමදාම ඉස්කෝලේ ඇරිලා ඇවිත් මම බෝනික්කිගේ සින්දු දාගෙන සෙල්ලම් ගේ දැම්මා. මම බෝනික්කිව හැමදාම රෑට තියල තිබ්බේ සාලේ තිබුණ කැබිනට් එක උඩ.

වෙනදා වගේම එදත් නිදාගන්න කලින් බෝනික්කිව එතන තියලා මා නිදාගත්තා. පහුවදා උදේම නැගිටලා අම්මායි අක්කායි ඉස්කෝලේ ගියාම මම උඩහා අත්තම්මලාගේ ගෙදර ඉදලා හිමින් සැරේ තමා ඉස්කෝලේ යන්නේ. මොකද මම ගියේ ගෙදර ලඟ ඉස්කෝලෙට නිසා උදෙන් යන්න ඕනේ නැහැ. මම ඉස්කෝලේ ගිහින් ගෙදර එද්දි අපේ ගෙදර වහලේ නැහැ. ගේ ලඟ ගොඩක් අය ඉන්නවා.

මම ගෙදරට දුවලා ගිහින් බලද්දි අපේ ගේ මැද වහලෙට පොල් ගහක් කඩන් වැටිලා. මම දුවලා ගිහින් දොරෙන් ඇතුලට ගියා. මගේ බෝනික්කිව හොයන්න. අනේ මගේ බෝනික්කි බිම වැටිලා. මම ඉක්මනට එයාව උස්සගෙන ඇවිත් සින්දු දාලා බැලුවා. ඒත් එයා සින්දු කියන්නේ නැහැ. දෙපැත්තට වැනෙනෙත් නැහැ. මට ගොඩක් දුක හිතුනා. මම බෝනික්කිවත් තුරුල් කරන් පැත්තකට වෙලා ඇඩුවා ගොඩක් වෙලා. ලොකු අම්මා ඇවිත් මාව එක්ක යනකම්ම මම ඇඩුවා. ඉස්කෝලෙත් නිවාඩු නිසා ලොකු අම්මා මාව එක්කගෙන ගියා. මම මගේ බෝනික්කිව අරන් යන්න හදද්දි

"පුංචි දුවේ බස් එකේ ඔයාගේ බෝනික්කා ගෙනිහින් තවත් ටිකක් එයා කැඩෙයි. ඒ නිසා ගෙදර තියලා යමු. මාමා හදලා තියයි." කියලා ලොකු අම්මා කිවා.
ඒ හන්දාම මම මගේ බෝනික්කිව තියලා ගියා. මාසෙකින් පස්සේ මම ආයෙමත් ඉස්කෝලේ යන්න ගෙදර ආවා. අපේ ගෙදර හදලා ආයෙමත්. මගේ බෝනික්කි හිටි තැනම ඉන්නවා. මම දුව ගිහින් එයා ආයෙමත් සින්දු කියනවාද බැලුවා. නැහැ එයා සින්දු කියන්නේ නැහැ. ඒත් මම මගේ බෝනික්කි එක්ක සෙල්ලම් කලා ගොඩක් කල්.

කාලෙත් එක්කම මගේ බෝනික්කි කැඩුනා. මට තිබුණු එකම සෙල්ලම් බඩුවත් මට නැති වුනා. මම ටික ටික ලොකු වුනා. සෙල්ලම් කරන වයස පහු කලා. ඒත් අදටත් කවුරු හරි පොඩි එකෙක්ගේ පුංචි සෙල්ලම් බඩුවක් දැක්කාම ඒකෙන් ටිකක් සෙල්ලම් කරලා බලනවා.

1 comment:

  1. hemeeta kyawanna one poo..
    hadissiyata kiyawala baha..
    onna book mark damma...

    sthoothi mahansyen liyapu lipiayata...

    ReplyDelete