2013/03/29

අමානුෂික දඬුවම......


ඊයේ පාසලේදි සිදුවුන දෙයක් ගැනයි කියන්න යන්නේ... මට ගොඩක් අය කිවා ඉස්කෝලේ දේවල් ලියන්න එපා කියලා. ඒත් මේ මගේ බ්ලොග් එකනෙ. හරි වැරැද්ද ගැන නොහිතා මම ලියනවා.

අපේ ඉස්කෝලේ අංශ වලට වෙන් කරලා තියෙනවා හැම ඉස්කෝලෙකම වගේ. ඒත් තියන වෙනස තමා වෙන ඉස්කෝලවල නැති මහා අමුතු බෙදිමක් තියෙනව ඒ ඒ අංශවල. කොහොමහරි තියෙන්නෙ ප්‍රාථමික, කණිෂ්ඨ, කණිෂ්ඨ ද්විතික, විද්‍යා, කළා හා වාණිජ. ඔය විදිහට බෙදලා තියෙන්නේ ළමයි විතරක් නෙවේ. ගුරුවරුත් බෙදලා දාලා තියෙනවා ඔය අංශ වලට. ගුරුවරු බෙදන්නේ ඒ ඒ ගුරුවරයා උගන්වන අංශයට අයත් වෙනවා. ඇතැම් අය ඉන්නවා අංශ දෙක තුනකම උගන්වන. හරියට මේ මම වගේ. මම විතරක් නෙවේ ගොඩක් ඉංග්‍රීසි ගුරුවරුත් අංශ කිපයකම උගන්වනවා. ඉතින් ඔය අයත් වෙනම අංශයක්ට අයත් වෙනවා. එහෙම අය වෙන්කරන්නේ වැඩිපුර කාලඡ්ඡේද ගණනක් වැඩ කරන අංශයට.

ඉතින් මාව අයිති වෙන්නේ ඔයින් කණිෂ්ඨ ද්විතික අංශයට වුනාට මම නෙවේ ඒ පැත්තටවත් යන්නේ. අත්‍යාවශ්‍යම රැස්වීමකට විතරක් යනවා. ඉතින් මම වැඩිපුරම ඉන්නේ විද්‍යා අංශයේ. දැන් මේක කියවන හැමෝම හිතනවා ඇති මේ මොන විකාර කතාවක්ද කියලා. ඒත් මේ දේ කිවේ මේ අංශ නිසා තමා මම කියන්න යන මේ සිදුවිම වුනේ

අද අනිත් හැම අංශයකම වාර විභාග ඉවර වෙලා. නමුත් විද්‍යා අංශයේ 12 ශ්‍රේණියට රසායන විද්‍යාව ප්‍රශ්ණ පත්‍රය තිබුණා.

අනිත් ප්‍රධානම දේ තමා අපේ ඉස්කෝලේ විද්‍යා අංශයේ පංති තියෙන්නේ ඉහල මාලයක. එහි පහල මාලයේ කළා අංශයේ 12 ශ්‍රේණියේ පංති තියෙනවා. එතන පඩිපෙල පහල කොටස කුඩා කාමරයක් ලෙස හදලා තිබිලා තියෙනවා පරිසර පැටවු වෙනුවෙන්. ඒත් මම ඉස්කෝලේට ගිය දවසේ ඉදලා දැක්කේ එතන කුණු කසල දාලා තියෙනවා. කොහොම හරි මේ වාරයේ ආරම්භයේ එම ස්ථානය නවීකරණය කලා. දැන් එතන ඉන්නේ අපේ ඉස්කෙලේ ඉන්න හාමුදුරුවෝ. මේ අපේ පාසලේ ඉන්න හාමුදුරුවරු දෙන්නාගෙන් දෙවනි කෙනා. එහෙම කිවේ අනිත් හාමුදුරුවො නියෝජ්‍ය විදුහල්පති. මේ හාමුදුරුවෝ කළා අංශයේ ඉගැන්විම් කරනවා.

ඉතින් දැන් මාස තුනක්ම හාමුදුරුවො ඔතන ඉන්නවා කිසිම ප්‍රශ්ණයක් වුනේ නැහැ. ඒත් අද අවුලක් වුනා. මමයි අපේ එක chemistry මැඩම් කෙනෙකුයි උඩට ගියා ප්‍රශ්ණ පත්‍ර දෙන්න. අපි ගිහින් ළමයි පංතිවලට යවලා නිෂ්ශබ්ධ කරලා මුලින්ම කොටු කොල දෙන්න ලෑස්තිවෙද්දිම ළමයි දෙතුන් දෙනෙකුයි අළුතෙන් ආව chemistry සර් ආවා. සර් කිවා හාමුදුරුවො කිවා කියලා හාමුදුරුවොන්ගේ කාමරේ වහලෙට තට්ටු කරලා ආව ළමයාට එන්න කියලා. මැඩම් ඇහුවා ළමයින්ගෙන් කවුද එහෙම කලේ කියලා. කවුරුත් කරලා නැහැ.

ඒත් ඉතින් කරන්න දෙයක් නැති නිසා පංති දෙකේම ළමයි යැවුවා පහලට බැනලා එවයි කියලා හිතලා. ඒත් බැනලා අවුවේ හිටවලා තිබ්බා ළමයි ටික විනාඩි 10 විතර. හොඳ වෙලාවට අසනීප වෙලා මාස ගාණක් ඉස්පිරිතාලේ ඉදලා ආව පිරිමි ළමයෙක් හිටියා එයාව යැවුවේ නැහැ. කොහොමහරි ළමයි ටික අවුවේ හිටන් ඉන්නවා. මාත් උඩ ඉදලා බලලා කිවා කවුරු හරි වැරැද්ද පිළිඅරන් සමාව ගන්න කියලා. ඉන් පස්සේ physics සර්ත් එතනට ඇවිත් ළමයින්ට කියලා තියෙනවා හාමුදුරුවන්ගෙන් සමාව ගන්න වැරැද්ද පිළිඅරන් කියලා.

එ අතරෙ ළමයි දෙන්නෙක් ඉදිරිපත්වුනා. හාමුදුරුවො කියලා බොරු කියන්න එපා කියලා. ඉන්පස්සේ තවත් ළමයෙක් ඉදිරිපත් වෙලා. එයා කියලා හාමුදුරුවො හිතාන එතන හිටිය අනිත් ළමයි හැමෝටම ඒ ළමයට ටොකු 5 ගානේ අනින්න කියලා. කොහොමහරි ඒ ළමයා ඇත්තටම හරි පුංචි ළමයෙක් වැඩි උසක් නැහැ. ඇගපතත් හරි පුංචියි. කොහොමහරි මුලම ළමයා හෙමින් ටොකු 5ක් ඇනලා. ඉන්පස්සේ සැර කරලා තව ටොකු 10 ඇන්නවලා. ඉන්පස්සේ ළමයින්ට කියලා තියෙනවා ටොකු අනින කෙනා හරියට ඇන්නේ නැතිනම් එයාට හාමුදුරුවො ටොක්කක් අනිනවා කියලා.

ඒ විදිහට ළමයි දෙතුන් දෙනෙකුත් ටොකු කාලා. අර ළමයා එක්කෙනෙක්ගෙන් ටොකු 5 ගානේ ළමයි 25 කගෙන් ටොකු කෑවා. ඒ මදිවට හාමුදුරුවො ඒ වෙලාවෙ කියලා තියෙන්නේ ළමයාගේ ඇස් වලින් කදුළු පනිනවා පේන්න ඕනේ කියලා. ඇත්තටම ඒ ළමයාගේ කදුළු පෙරෙනවා උඩට එද්දි. මම ඒ ළගටවත් ගියෙ නැහැ.මට ඒ තරම් අමානුෂික ක්‍රියාවක් බලන්න බැරි නිසා. එතන හිටිය chemistry මැඩම් උඩට ආවා ඒ මැඩම්ගේ ඇස් වලිනුත් කදුලු ගලනවා. ඒ ළමයාට ගහන ගැහිල්ල දැකලා අළුතෙන් ආව සර් ගිහින් හාමුදුරුවන්ට මුණටම කිවා ඒ වැඩේ හරි නැහැ ඔහොම දඩුවම් කරන එක වැරදියි කියලා.

ඒ වෙලාවේ හාමුදුරුවො ඒ සර්ට කියලා ඒක මගේ කැමැත්ත කියලා. එතනින් එහාට කතා කරලා වැඩක් නැති නිසා ඒ සර් නිෂ්ශබ්ධ වෙලා. හාමුදුරුවො අර ළමයාට සතෙක්ට වගේ බැන්නා. ආයේ එතනින් යද්දි හයියෙන් අඩිය තියන්නවත් බැහැ කියලා. පුදුම කළකිරිමක් අපිට ඇතිවුනේ. ඒ ළමයි සියළු දෙනාම උඩට ආවා. පුදුමාකාර දුකක් තරහක් කළකිරිමක් මුණුවල තිබුනේ.

ළමයි විභාගය ලියන්න ඕනේවට පංති ඇතුලට ගියේ. ඒ වුනත් ඔවුන්ට විභාගය කරන සිහියක් තිබුනේ නැහැ. හැමදෙනාගේම මුණු බිමට බර කරගෙන. ඇත්තටම මහා අමානුෂික දඩුවමක් දුන්නේ. අන්තිමට maths පංතියේ ළමයෙක් bio පංතියේ ගෑණු ළමයින්ට කෑගහලා ගියා එයාලා එහෙම කලානම් කියන්න නිකම් අර ළමයා ගුටි කෑවා. එයා හෙන උප්සෙට් එකේ කියලා. ඒත් ගෑණු ළමයි එහෙම කරලත් නැහැ.

ප්‍රශ්ණ පත්‍ර බෙදලා ඉවර වෙලා අපි තුන්දෙනා පංති දෙක මැදින් හිටන් හිටියා කතා කර කර. ළමයින්ට ප්‍රශ්ණ පත්‍රය ලියන්න කිසිම මානසිකත්වයක් නැහැ කියන එක හොදටම තේරුණා. හැමදෙනාම කල්පනා කරනවා. ලග ඉන්න කෙනා පැත්තට හැරිලා බනිනවා. වෙනදාට එක විනාඩියක අවසරයෙන් කොපි කරන්න දගලන ළමයිට ඒහෙමවත් වුවමනාවක් නැහැ. ඒ තරමට තරහින්. අපිත් එළියෙම හිටියා කොපි කරනවානම් කරපුදෙන් කියලා. මොකද අපිට වුනත් ඒ වෙලාවේ කිසිම හොඳ මානසිකත්වයක් තිබුනෙ නැහැ. ඉතින් ළමයින්ට කොහොම ඇතිද.

වැරැද්ද භාර අරන් ගුටිකාපු ළමයා ඔළුව තියාගන්නවා අයෙ ටිකක් ලියනවා. chemistry මැඩම් ඇහුවාම ඔළුව රිදෙනවාද කියලා නැහැ කිවාට රිදෙනවා ඇති. ඉන්පස්සේ ඔලුව අතගාලා බලද්දි එතන වල ගැහිලා. තෙල් ටිකක් ගෑවා. පවු ඒ ළමයා ඒ වෙද්දිත් ඇස් වල කදුළු පිරිලා. ඔය අතරෙ ළමයි ප්‍රශ්ණ පත්‍රය පැත්තක තියලා බනිනවා. ඒ අතරේ පහල තියෙන කළා පංති වල ළමයි හොදටම කෑගහනවා. ඒත් හාමුදුරුවොන්ට ඒ දේවල් ඇහෙන්නේ නැහැ. ඒකට ළමයින්ට තවත් තරහයි.

ඒ අතරෙම ළමයි විදුහල්පති තුමාට ලිපියක් ලියලා ඉස්කෝලේ පැමිණිලි පෙට්ටියක් තියෙනවා ඒකට දාන්න. ඒ වගේම අළුත් සර් ගිහින් විදුහල්පතිතුමාට පැමිණිලි කරලා වුනදේ. විදුහල්පතිතුමාටත් කරන්න දෙයක් නැහැ කිවලු. මෙහෙ හාමුදුරුවො දෙන්නාගේ හැටි ඔහොමතමා එයාලා අපිටත් කරදරයක් වෙලා තියෙන්නේ කියලා. ඒකත් එපමණයි. කොහොමහරි ප්‍රශ්ණ පත්‍රය ඉවර වෙලා අපි ලැබ් එක්ට ගියා. අපේ විද්‍යා අංශයේ සියළු දෙනාම එකතු වෙලා කතා කර කර හිටියා ඒ ගැන. හැමදෙනාම අප්‍රසාදයෙන් කතා කලේ.

ඒ අතරෙම හාමුදුරුවො එතනින් කාර්යාලය පැත්තට ගියා. අපිට හොදටම රවාගෙන. ඉන්පස්සේ මම ගියා කොම්පියුටර් ලැබ් එක වහලා එන්න. ඒ එද්දි දැක්කා හාමුදුරුවො bio ලැබ් එකේ ඉදන් එනවා. ඒ ඇවිත් අළුත් සර්ට කියලා ළමයි ඉස්සරහා එහෙම කතා කල එක වැරදියි කියලා. ඒ සර්ත් කිසිම බයක් නැති මනුස්සයෙක්. එයාත් කෙලින්ම කියලා ඒ දිපු දඩුවම හරිද කියලා. කොහොමහරි හාමුදුරුවො ගියා. ඒ වෙලාවෙ ඉස්කෝලේ ඇරියා. ඒත් ළමයි යන්නේ නැහැ. පංතිය ළග කැරකි කැරකි ඉන්නවා. අන්තිමට මැඩම්ලා කියලා කියලා යවා ගත්තා. ඒත් පහලට බැහැලා යන්න හිතක් නැහැ. ආයෙමත් ලැබ් එක ලගට ඇවිත් අහනවා මොකද වෙන්නේ කියලා. ඒ පාට අපේ bio මැඩම් කිවා මොනවා වෙන්නද දැන් ගෙවල් වලට යන්න කියලා අමාරුවෙන් යවා ගත්තා.

ඉස්කෝලේ ඇරපු නිසා අපිත් ගියා. මමත් අත්සන් කරලා පහලට බහිද්දි දැක්කා හාමුදුරුවො කළා අංශයේ තවත් සර්ලා දෙන්නෙක් එක්ක අර සර්ට මොනවාදො කියනවා. හිටි අනිත් දෙන්නත් මහ අමුතු ජාතියේ.

කොහොම නමුත් මට ඒ කතාවත් මැදිහත් වෙන්න විදිහක් නැහැ. මා ඒ හැමදෙනාටම වඩා ගොඩක් පොඩි නිසා. ඒ නිසා මම එන්න ආවා. කොහොම වුනත් පුදුමාකාර කළකිරිමක් ඇති වුනේ. මට අපේ විද්‍යා අංශයේ ගුරුවරුන්ට විතරක් නෙවේ. විද්‍යා අංශයේ ළමුන් හැමදෙනාටම. ඒ වගේ අමානුෂික දඩුවම් නොදි හැමදෙනාටම කළා අංශයේ ළමයින්ට විද්‍යා අංශයේ ළමයින්ට එක වගේ සලකන්න පුළුවන්නම් කොයිතරම් වටිනවාද... ඒ වගේම ඔහොම ගහන්නේ නැතිව ළමයින්ට හොදින් කියලා යහමගට ගන්න පුළුවන්. එහෙම කලානම් කොයිතරම් වටිනවාද.... ඊටත් වඩා මෙතන විද්‍යා අංශයටම හැමදාම ගහන්න බනින්න දඩුවම් කරන්න කළා අංශයේ අයට හරි පුදුමාකාර ආසාවක් තියෙනවා. අනේ මන්දා..

5 comments:

  1. ඔයාලා හැමෝම පව්...

    ReplyDelete
  2. සීලය, හැදියාව, හික්මීම තියෙන්නෙ සිවුරෙ නෙවෙයි, හිතේ, චර්යාවෙ. මේ කිසිවක් නැති චීවරධාරී වසලයින් තමයි වැඩිපුර දැන් ඉන්නෙ.. බුදු බණවත් අවබෝධයක් නැති පහත් පෙළෙහි බහුතර පිරිසක් තමයි දක්නට ලැබෙන්නෙ....

    "නජජ්ජා වසලෝ හෝතී
    නජජ්ජා හෝති බ්‍රාහ්මණෝ
    කම්මනා වසලෝ හෝතී
    කම්මනා හෝති බ්‍රාහ්මණෝ"

    ඔය ගාථාව සිංහල තේරුමත් එක්ක ඒ ශ්‍රමණවේශධාරියාට ලියල දෙන්න. නැත්නම් නිතර පේන තැනකින් ලොකු අකිරින් ලියල අලවන්න...

    ^සූ

    ReplyDelete
  3. සුරංග කියපු වැඩේ තමයි කරන්න තියෙන්නෙ.
    පැවිදි කරන වෙලාවෙ සිවුර ලබාගනිද්දි ප්‍රතිඥා දුන්නෙ කුමක් සඳහාද කියල පොඩ්ඩක් ඔය උන්නාන්සෙට මතක් කරල දුන්නනම් හොදයි.

    ReplyDelete
  4. අපි ඉස්කෝලෙත් හිටියා හාමුදුරුවෝ කෙනෙක්.අන්තිමට අපිට වැඩිය ඉහල පන්තිවල හිටපු කෙල්ලෙක් එක්ක පැනලා ගියා

    ReplyDelete
  5. owa gana paminili karana one..
    balanna e lamayage mansata wena
    haniya gana.. owunge moonata kela
    gahanna one...

    ReplyDelete