2013/02/20

අහිමිවීම් පමණද ජිවිතේ.....

අපේ ජිවිත හරි පුදුමාකාරයි. අපි බලාපොරොත්තු වෙන දේවල් ඒ විදිහටම ඉටු වෙයිද නොවෙයිද කියන්න අපි දන්නේ නැහැ. ඉතින් අපි අතරේ කට්ටියක් ඉන්නවා එයාලා ජීවිතේ බලාපොරොත්තු වෙන හැමදේම ඒ විදිහට වෙනවා. ඒත් තවත් සමහර අයගේ ජීවිතේ එයාලා බලාපොරොත්තු වෙනදේට වඩා හාත් පසින්ම වෙනස් දේවල් තමා සිදු වෙන්නේ. කොහොමත් අපි හැමදෙනාම බලාපොරොත්තු වෙන්නේ ජීවිතේ සතුටු හිතෙන හොඳ දේවල්. ඉතින් ඒ වගේ බලාපොරොත්තු බිඳ වැටුනාම ජීවිතේ කොයිතරම් දුක් බරද.......

මගේ ජීවිතේ අද වෙනකම් තිබුණු එකම ලොකු බලාපොරොත්තුවක් විතරයි. තවමත් ඒක ඉටු වේවිද නැතිද කියන්න බැහැ. නමුත් මේ වෙනකම් තිබුණු පොඩි පොඩි බලාපොරොත්තු ගොඩක් පෙනි පෙනි නැතිව ගියා. අදත් පුංචිම පුංචි බලාපොරොත්තුවක් නැතිව ගිය නිසා හිතේ දුකට ලියන්න හිතුන නිසා ලිවා. කියවන අයට හිතේවිද දන්නේ නැහැ මේ මොන විකාරයක්ද කියලා. එහෙම හිතුනොත් බනින්නේ නැතිව යන්න. මොකද මට බැණුම් අහන්න නම් බැහැ.

පුංචිම පුංචි කාලේ මගේ ජීවිතේට ගොඩක්ම වටින කෙනා මට අහිමි වුනා. ඒ තමා මගේ ජීවිතේ මා පහලටම ඇදන් වැටුනු සිදුවීම. ඉන්පස්සේ ටික ටික ලොකු වුනා ඒ දුක ජීවිතේ කොටසක් කරගෙනම. මම තුන වසරේ ඉද්දි ලෙඩ වුනා ගොඩක්. මාස ගාණක් ඇදේම හරියට කන්නේ බොන්නේත් නැතිව හිටියා. ජිවිතේ හැම බලාපොරොත්තුවක්ම අත් ඇරලා ඉද්දි ආයෙමත් මා ඉස්සර වෙලා හිටියා වගේ හොද වුනා.

ඉන්පස්සේ මම හතර වසරට එද්දි අළුත් ගුරුවරියක් ආවා අපිට. ඇය අවුරුද්දක් පිටරට ඉදලා ඇවිත් තිබුනේ. කොහොම හරි ඇය මා එක්ක පුදුමාකාර අමනාපයක් තිබුණා. පෑනෙන් ලියන්න පටන් ගත් මුල් කාලේ නිසාත් මාස ගාණක් අසනීපෙන් හිටි නිසාත් මගේ අත් අකුරු කැතයි. ඒ නිසාම ඇය මාව පන්තියේ කොන් කලා. හැමදාම මට පිටිපස්සේම පේළියට යන්න වුනා. ඇත්තටම මට පාසල් යන එක පවා එපා වෙලා තිබුණා. නමුත් අම්මා හැමදාමත් මට ගෙදරදි පාඩම් කියලා දෙන නිසාත් අනිත් අයට වඩා ඉක්මනින් මට වැඩ කරන්න පුළුවන් නිසා මම හැමදාමත් පාසල් ගියා.

කොහොමහරි මම පහ වසරට ආවා. පහ වසරට ආවාම අපේ පන්තියට අලුතෙන් ගුරුවරියක් ආවා. ඇය ගොඩක් හොදයි. පන්තියේ හැම ළමයෙක්ටම ගොඩක් ආදරෙන් සැලකුවා. පහ වසරේ ශිෂ්‍යත්ව විභාගය තිබුණා. මම සමත් වුනා. නමුත් අවාසනාව කියන්නේ මට එක ලකුණක් මදි උසස් බාලිකා විදුහලට. ඒ නිසා මාව තේරුනේ පුෂ්පදාන විදුහලට. හොද වෙලාවට අපේ අක්කා හිටිය නිසා මගේ ඒ හීනෙ නම් හැබෑ වුනා.

එතන ඉදන් කාලේ මහා ලොකු බලාපොරොත්තු තිබුනේ නැහැ. ඒ කාලේ ගෙවිලා ගියා. ඉන්පස්සේ සාමාන්‍ය පෙළ කාලේ තිබුණ ලොකුම බලාපොරොත්තුව සියළුම විෂයන් වලට විශිෂ්ඨ සම්මාන ගන්න. ඒත් අනේ මන්දා ඒකත් එකක් නැති වුනා. සංගීතයට සාම්මානයක්. එදා මම ගොඩක් ඇඩුවා. මම අඩනවා දැකපු හැමදෙනාම හිතුවේ මම විභාගය අසමත් වෙලා කියලා. ඒත් මගෙ බිදවැටුණු බලාපොරොත්තුව නිසා මම ගොඩක් දුක් වුනා.

ඉන්පස්සේ උසස් පෙළ. ඒකෙනුත් බලාපොරොත්තු වුන ප්‍රථිඵල ලැබුනේ නැහැ. මට යන්න ඔනේ වුන තැනට යන්න පුලුවන් කමක් නැති වුනා. ඉන්පස්සේ විද්‍යාපීඨයට අයදුම්පත් දැම්මා. විද්‍යාවට ලැබුනේ නැහැ. ඒත් පස්සේ දැනගත්තා මට වඩා අඩු z-score එකක් තියෙන අයටත් ලැබිලා තිබුනා කියලා. ඉන්පස්සේ ඉංග්‍රීසි. එයට එක ලකුණක් මදි වුනා. ඒ වෙලාවේ නම් මම ගොඩක් මානසිකව වැටුණා. පිඨාධිපතිතුමාට පුලුවන් ඒ ලකුණ සංශෝධනය කරලා තව ලකුණක් අඩුවෙන් බදව ගැනීම් කරන්න. අභියාචනයක් ඉදිරිපත් කලත් ඒක නොසලකා හැරුණා මගේ නෑදෑයෙක් නිසාම.

ඒ බලාපොරොත්තු කඩවීමත් එක්කම ඊලග වතාවේ ප්‍රථිඵල වලින් විශ්ව විද්‍යාලයට යන්න බල්න් හිටි එකත් අතැරලා NIBM ගියා. ඒ අතරේ ආයුර්වේද වෛද්‍ය වලට ආවේ. කොහොමහරි NIBM එක ඉවර කලා. රැකියාවක් බලාපොරොත්තු වුනා හොද. ලැබුන එක ඒ තරම්ම හොද තැනක නෙවේ. ප්‍රසිද්ධ ආයතන දෙක තුනකම interview වලට ගියා. හැම තැනකම දෙවනි තුන්වෙනි එකෙන් අසමත් වුනා. ඔය අතරේ පොඩි තැනක වැඩ කලා. එතනත් මහ රැවටිමක් වුනේ. එතන පාවිච්චි කලේ foxpro. ජවා වලට කොටසක් convert කරනවා. මට කිවා මාස තුනකින් ජාවා වලට මාරු කරන්නම් කියලා. ඒත් අවුරුද්දක් බලන් හිටියා. ජාවා මතකයක්වත් නැහැ. මා ඉද්දිම අලුතෙන් දෙන්නෙක්ව ගත්තා ජාවා වලට. මට එපාම වුනා. එතන ඉන්න තිබුන බලාපොරොත්තුව ඉවරම ඉවරයි. මා එතනින් ඉල්ලා අස් වුනා.

මම එතනින් අස් වෙන්න කලින් ගොඩක් රැකියා වලට ඉල්ලුම් කලා. ඔය අතරේ ප්‍රධානම එකක් තමා ප්‍රසිද්ධ බැංකුවක්. ඒකෙනුත් interview එකෙන් අසමත් වුනා. නමුත් පස්සේ දැනගත්තා එහි වැඩකරනinterview board එකේ හිටි කෙනෙක්ගෙන් දේශපාලනය නැතිකම නිසා අසමත් වුනා නැතිනම් ලකුණු හොදයි කියලා. කොහොමහරි කණගාටුම කරුණ කියන්නේ මට වඩා ලකුණු අඩු දක්ෂතාවයන් තරමක් අඩු අය ගොඩක් දෙනෙක් තේරිලා තිබුණා. මම හොදින් interview එකට මුහුණ දුන්  නිසා ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියා. ඒ වුනත් ඒ හැමදේම නැතිවුනා.

ඉන්පස්සේ හැම බලාපොරොත්තුවක්ම අත් ඇරියා. එදා දවසේ ජිවත් වුනා එතනින් එහා දවසක් ගැන හිතුවේ නැහැ. ඔය අතරේ වෙන ආයතන වල interview වලට ගියා. ඒත් බලාපොරොත්තු තියාගත්තේ නැහැ. ඒ අතරේ teaching වලට අයදුම්පතක් දැම්මේ අම්මා. අම්මා බැන්න නිසා බාගෙට පුරවලා දීලා ආවා. අම්මා ඒක දැම්මා සම්පූර්ණ කරලා. මගේ හිතේ පුංචි බලාපොරොත්තුවක්වත් නොතිබුණ නිසා ඒක ලැබුණා.

ඔය අතර කාලයේ පුංචි පුංචි බලාපොරොත්තු කඩවීම් අනන්තවත් වෙලා තියෙනවා. එහෙම වුන දෙයක් ආයෙමත් අද වුනා. ඒත් කලින් වතාවන් වලට වඩා අද එකෙන් ගොඩක් හිතට දුකයි. මගේ මහත්තයා මාව බලන්න එනවා කියලා සති ගානකට කලින් පොරොන්දු දීලා අන්තිමේ එදා උදේට එන්න බැහැ කියලා තියෙනවා අනන්තවත්. ඉතින් එහෙම දවසට අඩලා රණ්ඩු වෙලා අයෙම ටිකකින් හිත හදාගන්නවා. ආයෙමත් දවසක එන්න කියනවා කියලා හිතාගෙන. මොකද ඉතින් ඒ දවස් වල උදේ එන්න කියලා හරි යන්න පුලුවන්. මමත් කොළඹම නෙ හිටියෙ.

ඔය දේම අදත් වුනා. දෙසැම්බර් මාසේ ඉදන් එන්න කියලා දින දාගෙන සතියෙන් සතිය කල් ගිහින් යන්තම් මේ සතියට යොදා ගත්තා. අද උදේ වෙනකම්ම එනවා කිවා. ඉතින් මම නිවාඩුවක් එහෙම දාලා මගේ වැඩ භාරදුන්නා. අද ගෙදර ආවාම කතා නොකරම ඉදලා රෑ වෙලා කතා කරලා කියනවා. දුක හිතෙන කතාවක් සහ සතුටු හිතෙන කතාවක් තියෙනවා කියලා. මම දුක හිතෙන කතාව මුලින් ඇහුවා. ඒ මාව බලන්න එනවා කිව දවසට එන්න බැහැ කියලා. ඒකට මට ගොඩක් දුකයි. මාස ගණක් බලන් ඉදලා ඉදලා මුණ ගැහිලා ඔහේ කියව කියව ඉන්න තියන් හිටි බලාපොරොත්තු බිදිලා ගියා. ජිවිතේ මහා ලොකු බලාපොරොත්තුවක් නෙවේ වුනත් අනිත් අයට පුංචි බලාපොරොත්තුවක් වුනාට මට ඒක මහ මෙරක් තරම්. ඒ හන්දා වෙන්න ඇති මේ තරම් දුක. ආයෙමත් කවදා හමු වෙන්නද..... තවත් මාස ගාණක්.

ජීවිතේ තව ඉතිරි වෙල තියෙන්නේ එකම එක බලාපොරොත්තුවයි. ඒකවත් සුනු විසුනු වෙලා යන්නේ නැතිව ඉටු වෙනවා නම්. ඒ බලාපොරොත්තුව සුන් වුනොත් මා ජිවත් වෙන එකක් නැහැ. ඒ තරමට මට ඒක දරාගන්න බැරි වේවි. මට් හැම මොහොතෙම හිතෙන්නේ ඇයි මගේ හැම බලාපොරොත්තුවක්ම මෙහෙම බිද වැටෙනේ කියලා. ඒකට කියන්නේ අවාසනාව කියලාද කාලකණ්ණිකම කියලාද....

2013/02/15

දියුණු වෙන්න පුළුවන් බදින්න කලින් විතරමද.......

ගොඩක් දවසකට පස්සේ ලියන්න හිතුනා. ලියන්න දේවල් ගොඩක් හිතේ තිබුනත් ඒ හැමදේම ලියන්න හිතේ නිදහසක් නැහැ. අදනම් හිතා ගත්තා නිකම්ම නිකම් කම්මැලිකමේ ඉන්න වෙලාවේ පෝස්ට් එකක්වත් ලියන්න ඔනේ කියලා. එහෙනම් වැල්වටාරම් නතර කරලා කතාවට යන්නම්කෝ.

මෙහෙමයි මේ කතාව වුනේ මාත් මට වඩා වැඩිමහල් අවුරුදු 50 ආසන්න කරපු අම්මා කෙනෙක් එක්කයි. අදටත් මට තේරෙන්නේ මම හරි කියන එකයි. හේතුව මට ඔප්පු කරන්න දෙයක් තිබුණා. ඒ වගේම තමා ඇන්ටි හිතාන ඉන්නේ එයා හරි කියලා. ඒ එයාටත් ඔප්පු කරන්න දේවල් තියන නිසා වෙන්න ඇති.

දවසක් මම ඔය කිව ඇන්ටි එක්ක කතා කරනවා. මාතෘකාව වුනේ විවාහය. ඉතින් ටිකක් වෙලා කතා කර කර ඉද්දි ඇන්ටි කියනවා එයාගේ පුතාටනම් කසාදයක් බදින්න කැමැත්ත දෙන්නේ අවුරුදු 30 පහු වුනාම කියලා. මටත් හරි පුදුමයි ඇයි එහෙම කියන්නේ කියලා. ඇයි ඉතින් දැන් කාලේ කොල්ලෝ අවුරුදු 28ට කලින් බදිනවානේ. ඒ නිසා මමත් ඇහුවා ඇයි ඇන්ටි එහෙම කියන්නේ කියලා.

ඔන්න දැන් ඇන්ටි මට පැහැදිලි කරනවා කාරණාව.

"මේකනේ දුව... දැන් අපේ පුතාට තවම රස්සාවක් නැහැ. එයාගේ අනාගත බලාපොරොත්තු ගොඩක් තියෙනවා. ඒවා ගොඩක් වෙනස්. අනිත් එක එයාට ගෙදරක් නැහැ. ගෙදරක් හදාගන්න ඕනේ. එහෙම නිකම්ම නිකම් කසාද බැදලා හැමදාම එකම තැන ඉන්න වෙන්නෙ. එයාට ඕනේ හොදට දියුණු වෙන්න. අනික කොල්ලෙක්නේ 30 පහු වුනා කියලා ප්‍රශ්ණයක් නැහැ නෙ. "

"ඉතින් ඇන්ටි බැන්දා කියලා දියුණු වෙන්න බැරි නැහැනේ. අනික එතකොට ගොඩක් හොදට දියුණු වෙන්න පුළුවන්නේ. දෙන්නම හොඳට හම්බකරලා ලස්සනට දියුණු වෙන්න පුළුවන්නේ. අනික ඇන්ටිගේ පුතාට රස්සාවක් තාම නැහැ කියන එක ප්‍රශ්නෙකුත් නැහැනේ. එයාට හොඳට තමන්ගේ දෙයක් කරන් ජීවත් වෙන්න පුළුවන්නේ. දැන් කාලේ කොල්ලෙක් වුනත් 30 පහු වෙනකම් ඉන්නවා කියන්නේ තේරුමක් නැහැ. මොකද ඉතින් එන්න එන්න මිනිස්සුන්ගේ ආයු කාලය අඩු වෙනවානේ"

"අනේ ඔයාට මොනවාද ළමයෝ තේරෙන්නේ, බැදලා දියුණු වෙනවා කියලා හිතාන හිටියාට ඒක කරන්න බැහැ කවදාවත්ම. එතකොට ඉතින් වෙන්න එදා වේල කාලා ජිවත් වෙන්න තමා. අනික එයාට එයාගේ ගමන යන්න බැරි වෙනවා. රස්සාවක් කරලා ගෑණිට කන්න අදින්න දෙන්නයි ළමයි හම්බවුනාම එයාලාගේ වැඩයි විතරයි. ඉන් එහාට ගෙවල් හැදිල්ලක්වත් දියුණුවක්වත් එයා බලාපොරොත්තු වුන් තැනට යන්න වෙන්නේ වත් නැහැ."

"නැහැ ඇන්ටි එහෙම එකක් නැහැ. දෙන්නා සමගිනම් දෙන්නටම එකතු වෙලා ගොඩක් සතුටින් අනාගතය හදාගන්න පුලුවන්. ඒ වගේම තමා ළමයි හිටියා කියලා එයාලාගේ වැඩ් තිබුණා කියලා දියුණු වෙන්න බැරි වෙන්නේ නැහැ. අනිත් එක බදින කෙනා එයාව ගොඩක් හොදින් තේරුම් ගත්ත කෙනෙක් නම් කිසිම ප්‍රශ්ණයක් නැහැනේ එයාගේ බලාපොරොත්තුව ඉෂ්ඨ කරගන්න එයාත් උදවු කරාවිනේ. "

"අනේ දුව මේ අවුරුදු 50 වුන මම අත්දැකිමෙන් කියන දේට වඩා අවුරුදු 25 වුන ඔයා කියන දේ හරි කියලාද ඔයා කියන්නේ"

තවදුරටත් ඇය සමඟ කතා කිරිමෙන් පලක් නැතිබව තේරුණ නිසා මම අනේ මන්දා ඇන්ටි මට තේරෙන හිතෙන විදිහ මම කිවේ. ඇන්ටි කියන දේ හරි ඇති.

මම කතාව එතනින් නතර කලාට ඉන් එහාට මගේ සිතුවිලි මටම වද දුන්නා. මම් වැරදි නැහැ කියන එක. හේතුව එයට හොදම උදාහරණයක් මම දන්නවා.

මම නම් විස්තර කියන්නේ නැතිව කියන්නම් ඒ අය ගැන. අක්කා සාමාන්‍ය පෙළ හොදින් සමත් වෙලා උසස් පෙළ ගණිතය අංශයෙන් හදාරන්න පංති යනවා. අයියාත් විද්‍යා අංශයෙන් පංති යනවා. මේ අතරේ මේ දෙන්නා අතරේ ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්න්වා. නමුත් ඔවුන් වැරදියි. හේතුව ඔවුන් උපරිම වැරැද්දක් කරනවා. මේ නිසාම අක්කාගේ දෙමාපියන් මැදිහත් වෙලා ඔවුන් බන්දලා දෙනවා. ඒ වන විට උසස් පෙළ පළමු වසරේ ඔවුන් දෙදෙනාම. කෙසේහෝ අයියා ඇගළුම් ආයතනයක සුළු රැකියාවකට යනවා. ඔය සිදුවීම වුනේ 1998 හෝ 1999 කාලයේදී.

මේ වෙද්දි අයියාට ලැබෙන වැටුප රුපියල් 3500 පමණ. ඔවුන් පදිංචි වෙලා හිටියේ අක්කාගේ මහ ගෙදර. අක්කාගේ තාත්තා විතරයි රැකියාවක් කලේ. එයාට නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා. එයාලා මධ්‍යම පාංතික පවුලක්. මම මෙහෙම කිවේ එයාලාගේ ආර්ථික තත්වය තීරණය කරන්න. කොහොම වුනත් අයියා එයාටත් අක්කාටත් කෑමට යන වියදමෙන් සුළු මුදලක් ගෙදරට දෙන්න වුනා. ඒ වගේම තමා ඔවුන්ගේ කුඩා පුතාගේ වියදම් දරන්න වුනා.

මේ විදිහට අමාරුවෙන් මුල් කාලයේ ජීවත් වුනා. කොහොම කොහොම හරි අයියා රැකියාවේ උසස්වීම් ලබාගත්තා. අයියාගේ දෙම්ව්පියන් ඉඩමක් දුන්නා. ඒ දෙන්නා මහන්සියෙන් ගෙයක් හැදුවා. දැන් ගේ සම්පූර්ණයෙන්ම හදාල ඉවරයි තට්ටු දෙකට. ඒ වගේම ලීස් කරලා පාවිච්චි කරපු කාර් එකක් ගත්තා. දැන් මාරම සතුටෙන් ඉන්නවා. මුල් කාලේ දුක් වින්දට දැන් කිසි අවුලක් නැහැ.

එයාලා ජීවිතේ පටන් ගත්තේ බිංදුවටත් පහල තැනකින් ඒත් එයාලා අද හොදින් ඉන්නවා. අඩුම තරමේ බදින්න වයස සම්පූර්ණ වෙලාවත් තිබුනේ නැහැ. අද වෙද්දි කිසිම දුකක් කරදරය නැහැ හොදින් ඉන්නවා. ඒ වගේමයි ගොඩක් වයසට යන්න කලින් පුතා ලොකුයි. මම එයාලා කල දේ හරි කියන්නේ නැහැ. ඒත් අපි අතරේ ඉන්න ගොඩක් අය හිතන්නේ දියුණු වෙලා බදින්න ඔනේ. නැතිනම් කවදාවත් දියුණු වෙන්න බැහැ කියලා. ඒත් ඒක එහෙම නෙවේ. අපි උත්සාහ කරනවානම්  මුකුත්ම නැතිව ජීවිතේ පටන් ගෙන හොදට  දියුණු වෙන්න පුළුවන්.

අවුරුදු 30 පහු වෙලා බදින එක කොල්ල්ක්ට අවුලක් නැහැ කිවාට තියෙනවා. අපි මහ ලොකු කාලයක් ජීවත් වෙන්නේ නැහැ. ඒ වගේම 30 බැදලා 31 විතර ළමයෙක් හිටියොත් ඒ ළමයාට අවුරුදු 20 වෙද්දි 51 වයස. අවුරුදු 20 කියන්නේ කැම්පස් යන වයස. ඒ කාලේදි වියදම වැඩියි. ගොඩාක් සල්ලි හම්බ කරලා තිබුනොත් ප්‍රශ්ණයක් නැහැ. නමුත් ඒ වෙද්දිත් හම්බ කරන්න වුනොත්. ඒ වගේමයි ඔය සිතුවිල්ලෙන් ඉද්දි කෙල්ලෙක් එක්ක යාළු වෙලා ඉන්නවානම් ඒ කෙල්ලට අකමැත්තෙන් දාලා යන්න වෙනවා එහෙම නැතිනම් ජීවිත කාලෙම තනි වෙන්න වෙනවා.

යාළු වෙන කෙල්ල අවුරුදු ගානක් බාල නම් ටිකක් හරි කමක් නැහැ කියන්න පුලුවන්. ඒත් බොහොමයක් දෙනා සම්බන්ධකම් ඇති කරගන්නේ අවුරුද්දක් දෙකක් පරතරය තියන අය එක්ක. එහෙම වුනාම කොල්ලා 30 පහු වෙනකම් ඉද්දි කෙල්ලට 29. ගොඩක් ගෙවල් වලින් කෙල්ලෙක්ට ඒ තරම් කල් ඉන්න දෙන්නේ නැහැ. ඊටත් එහෙම හිටියා වුනත් 29 බැදලා 30 විතර අම්මා කෙනෙක් වෙන එක ඒ තරම්ම හොද නැහැ. සමහර විට මෙහෙම ඒ කෙනා වෙනුවෙන්ම බලා ඉදලා 30ත් පහු වුනොත් 32 ක් විතර වුනාම ඒ ගෑණු ළමයාව නොබැද වෙන කෙනෙක් බදින්න තියෙන ඉඩකඩ වැඩියි. බොහෝ විට යෝජිත විවාහ. ඉතින් එහෙම වුනාම කොයි තරම් දියුණු වෙලා හිටියා වුනත් හිතේ සතුට නැති වෙන්න පුලුවන්.

මේ මගේ හැගීම. ගොඩක් දෙනෙක් කියාවි මේ මොන විකාරයක්ද කියලා. ඒත් මේ අපි අතරේ තියන ඇත්ත කතා. ගොඩක් දෙනෙක් හිතන්නේ හරි පටු විදිහට. එක දෙයක් ගැන හිත හිත ඒ මතේ ගැලිලා ඉද්දි ගිලිහිලා යන අනිත් දේවල් ගැන හිතන්නේ නැහැ. ඒ දේවල් මතක් වෙන්නේ ගොඩක් කල් ගියාට පස්සේ...

2013/01/29

අද දවස.....

හැමදාම එකවගේ ගෙවෙන දවස් වලට වඩා අද දවස ගොඩක් වෙනස් වුනා. ගොඩක් දවසකට පස්සේ කම්මැලිකම ඇරගත්තා.

අද වෙනදාට වඩා කලින් නැගිටින්න නම් වුනා. ඒ ඊයේ දවසේ මා අතින් සිදුවුන අමතක වීමක් නිසා උදෙන්ම යන්න වුනා. මම වෙනදා වගේම උදේ නැගිටලා ලෑස්ති වුනා. අද නම් සැනසීමෙන් යන්න පුළුවන් කියලාම හිතාන. වෙනදාට කලින් මම ඉස්කෝලේට ගියා. මම ගිහින් අත්සන් කරලා අමතක වෙලා අරන් ආව ලැබ් එකේ දොරේ යතුරත් සිකුරිටි එකට දුන්නා.

අද පාසලේ හැමදෙනාටම විශේෂ දවසක් වුනා. හේතුව වුනේ වාර්ෂික නිවාසාන්තර මළල ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැත්වෙන මැරතන් ධාවන තරඟය අද පවත්වන නිසා. සියළුම දෙනා කෙලින්ම ක්‍රීඩා පිටියට ගියා වුනත් මට පාසලට ගිහින් යන්න වුනා. අපේ පාසලේ ඉදන් ක්‍රීඩා පිටියට ඇවිදන් යන්න පුළුවන් වුනත් මම බස් එකක නැගලා ගියා. මම යද්දි හැමදෙනාම වගේ ඇවිත් හිටියා. මමත් අපේ කට්ටිය ඉන්න තැනට ගිහින් ඉදන් හිටියා. මට වෙන වැඩ තිබුනෙත් නැති නිසා.

මම කලිනුත් ඔයාලාට කියලා තියෙනවානෙ අපේ ඉස්කෝලේ ටිකක් වෙනස් කියලා. අපේ පාසලේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල උත්සවාකාරයෙන් පවත්වන්නේ වසර දෙකකට වතාවක්. ඒ නිසා මේ අවුරුද්දේ උත්සවයක් නැහැ. ඒත් සියළුම තරඟ තියෙනවා. ඒ තරඟ වලින් ප්‍රධානම තරඟයක් තමා බාලක බාලිකා මැරතන් ධාවන තරඟය. එය උත්සවාකාරයෙන් පැවැත්වීමට කටයුතු යොදාගෙන තිබුණා.

කොහොමහරි උදේ 8 වෙද්දි පන්සිල් දීලා සෙත් පිරිත් දේශනා කරලා 8.30 විතර වෙද්දි මැරතන් එක පටන් ගත්තා. මැරතන් ධාවන තරඟයේ බාලක තරඟය ක්‍රීඩා පිටියෙන්ම ආරම්භ කලා. බාලිකා තරඟය ආරම්භ කෙරුනේ මගකින්. කොහොමහරි මැරතන් ධාවන තරඟය අවසන් වෙලා තරඟකරුවන් ක්‍රීඩා පිටියට එන්න සූදානම් වන මොහොතේම අපේ විදුහල්පතිතුමා මට කතා කලා. මදැයි ජීවිතේ පළවෙනි වතාවට මැරතන් එකක් බලන්න කියලා පැවිලියන් එකේ උඩම පඩියක හොඳට වාඩි වෙලා හිටියා. මොනවා කරන්නද කියලා හිත හිත පහලට බැස්සා.

මම ගිහින් ඇහුවා "ඇයි සර්"
"........, දැන් ලැබ් එක භාර ගෙනද තියෙන්නේ"
 (සර් මට කතාකරපු විදිහ මෙතන දාන්නේ නැහැ. මම වගේ පොඩි කෙනෙක්ට ඒ තරම් බර වචනෙකින් අමත්න එකට මම කැමති නැහැ වගේම. මේක කියවන සමහර අයට හිතෙන්න පුලුවන් මගේ ලොකු කමද කියලා....ඇනෝ ලාට එහෙම :)

"නෑ සර්...තාම සරත් සර් තමා භාර"
"හා එහෙමද.. අමාත්‍යාංශෙන් ඇවිත් අඩුපාඩු බලාගෙන යන්න. සරත් සර් ට එහෙනම් පණිවිඩේ කියන්න ඉස්කෝලේට ගිහින් ටිකක් බලන්න කියලා"
යන්තම් මම බේරුණා කියලා හිතන් මා සරත් සර්ව හොයන්න ගියා. මම ගිහින් පණිවිඩේ කිවාම එයා කියපි "හා යමු දැන් ඔයා භාරගන්න ඉන්න කෙනානේ කියලා."

මමත් ඉතින් මොනා කරන්නද දැන් ඉතින් කියලා යන්න් පිටත් වුනා. එතකොටම වගේ මැරතන් එකේ මුල්ම තුන් හතර දෙනා ආවා. හොඳටම නැතත් අවසානය යන්තම් හරි බලාගත්තනේ කියලා හිත සනසන් ඉස්කෝලේට ගියා.

අපේ ඉස්කෝලේ ගේට්ටු තුනක් තිබුනාට අපිට ලගම ගේට්ටුව නිතරම ලොක් කරලා තියෙන්නේ. ඒත් සරත් සර් මට කිවා එතනින් හොරෙන් පනින්න තැනක් තියෙනවා යන්න පුලුවන් වේවිද කියලා. මටත් අවුලක් නැහැ. වටයක් ඇවිදිනවාට වඩා ලේසිනේ. ඒ නිසා යමු කිවා. කොහොමහරි ඒ තරම් අමාරු තැනක් නෙවේ. අපි ඔෆිස් එකට ගියා ආවා කිව කෙනා ඉන්නවාද බලන්න. ඒත් පෙන්න එහෙම කෙනෙක් නැහැ. එතකොටම අපේ නියෝජ්ය්‍ය විදුහල්පති තුමිය කතා කරලා විස්තරේ කිවා.

මටත් ඕනේ කොහොම හරි මේ මර උගුලෙන් බේරෙන්න. ඉතින් මම ඉක්මනට කිවා.
"අනේ මැඩම් මම තාම ඕවා දන්නේ නැහැ. සර් තමා තාමත් ලැබ් එක භාරව ඉන්නේ සර් තමා දන්නේ කියලා"
වැඩේ හරි ගියේ නැහැ. එයා පෙරටුවෙන් යනවා. මම පස්සෙන් යනවා. හොඳ වෙලාවට සර්ටත් මගේ ගැන දුක හිතිලාමද කොහේදෝ පස්සෙන් එනවා.
"එන්න මම ඔයාව අදුන්වලා දෙන්නම්" කියාගෙන මැඩම් chemistry ලැබ් එකට ගියා.

කොහොමහරි එතන හිටි මැඩම්ට මාව අදුන්වලා දීලා ගියා. එතන අපේ ඉස්කෝලේ චෙමිස්ට්‍රය් සහ ඵ්ය්සිcස් ලැබ් වල ඇසිස්ටන්ලා දෙන්නාගෙන් ඒ බඩු ගැන විස්තර ගන්නවා. ඒ දෙන්නාම හරියට විස්තර දෙන ජාතියේ දෙන්නෙක් නෙවේ. කොහොමහරි මේස බංකු වල දිග පළල මනින්න මාත් උදවු කලා. ඉක්මන්ට එතනින් ගැලවෙන්න. ඒ එක්කම කට්ටියම පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා මමයි අර අමාත්‍යාංශෙන් ආව මැඩම් දෙන්නා ඉතිරි වුනා. මගේ ටිකිරි මොලේට වැටහිලා තිබුනේ මේ වැඩේ හරිම ආසාර්ථකයි කියලා.

ඉතින් මම හෙමින් සීරුවේ සැර ඔක්කොම බාල කරලා ඔය ගැන ඇයට කිවා. උගන්වන ගුරුවරුන් ඉන්න දවසක නම් විස්තර හොදින් ගන්න තිබුනා. එයාලා තමා ඒ විස්තර හොදටම දන්නේ කියලා. ඉතින් එයා කිවා එයාලාට එන්න කිවානම් හොදයිනේ කියලා. මට එහෙම පුලුවන්ද මම වැටුණු අමාරුවේ තව කෙනෙක්ව දාන්න. ඒ නිසා මම කිවා නැහැ එයාලාට එන්න බැහැ. එයාලාට ක්‍රීඩා පිට්යේ වැඩ තියෙනවා කියලා. ඉන්පස්සේ එයාට තේරෙන්න ඇති මට දැන් මේක වදයක් වෙලා ඉන්නේ කියලා.

ඒ පාර ඒ මැඩම් කිවා ඔයාගේ විස්තර ටික බලමුකො කියලා. ඉන්පස්සේ ඇහුවා මොකක් භාරවද ඉන්නේ කියලා. මමත් කිවා computer ලැබ් එක කියලා. එයා මුල ඉදන් අගටයි අග ඉදන් මුලටයි එයා ලඟ තිබුන කොළ සෙට් එක පෙරලලා කිවා "ආ නැහැ ඒ ගැන විස්තර ඕනේ නැහැ" කියලා. මට ඉතින් හිතුන දේ කියන්න ඕනේ නැහැනේ. මම ඉක්මනටම ඇහුවා එහෙනම් මැඩම් මම යන්නද කියලා. හා කිව ගමන් මම ආවා. මම සර් ගෙන් ඇහුවාම එයා ආයෙම යන්නේ නැහැ කිවා. මම අපේ නියෝජ්‍ය විදුහල්පතිතුමියට පණිවිඩේ කියන්න ගියාම එය මට බොරු උගන්වනවා. එයා ක්‍රීඩා පිටියට නොයා ඉන්න එකට විදුහල්පතිතුමාට බොරු කියන්න මාව ගාවගන්න යනවා. මම අහුවෙයි ඕවාට. මම ඔලුව වනලා හා කියලා එන්න ආවා.

කොහොමහරි මම ආව පාරෙන්ම යන්න යද්දි. තව සර් කෙනෙක් මුණගැහුනා. එයාටත් ටිකක් කතා කරද්දි මගේ නම කියනවා ඇහුනා. ක්‍රීඩා පිටියේ ඉදන්. හයියෝ මාව හොයනවා. මමත් අත් ඇරියේ නැහැ. සාරියත් පටලගෙනනේ. ඒත් පුලුවන් වේගෙන් ගියා. කට්ටියම ලෑස්තියි මාත් වතුර ටිකක් එහෙම බීලා සෙට් වුනා. ගුරුමණ්ඩලයේ එල්ලේ තරඟයට.

කොහොමහරි ඉක්මනට අඩි උස සෙරෙප්පු ගලවලා අඩි නැති දෙකක් දාගෙන ක්‍රීඩා පිටියට ගියා. පෙර පුහුණුවීම් කලාම පුලුවන් තරමක් හොදින් පන්දුවට පහර දෙන්න. කොහොමහරි කණ්ඩායම් දෙකකට බෙදන්න අපි ගියා ක්‍රීඩා විවේකාගාරයට. ඔහොම ගිහින් කණ්ඩායම් දෙකට බෙදිලා අපි පාට වෙන් කලා. පාට දෙක තමා නිල් සහ කොළ. අපි කොළ කණ්ඩාය්මේ. අපිට දුන්නා ලස්සන ටී ෂර්ට් එකක්. දැන් අපි සාරි ඇදන් දිවුවොත් බෙල්ල කඩා ගන්න තමා. ඒ නිසා ගෙදරින්ම සූදානමින් ආපු අපි බොටම් එකයි ටී ෂර්ට් එකයි ඇද ගත්තා. සමහර මැඩම්ලා නම් සාරියට උඩින්ම ටී ෂර්ට් එක ඇන්දා.

කට්ටියම ක්‍රීඩා පිටියට ආවා. මුලින්ම තරඟ කලේ අපි. අපේ කණ්ඩායමේ අය ඉක්මනින් දැවීගියා. සමහර අයට දුවන්න බැරි නිසා වෙනුවට අය දිවුවා. මමත් පිති හරඹය දක්වන්න ආවා. හයියෝ අති පණ්ඩිත සර් කෙනෙක් බෝල් කලා. මදැයි කලා කරට උඩින් දැම්මා. දෙවනි බොලේට ගැහුවා. මගේ පිටි පස්සටම ගියේ. මම අවුට් වුනා. කණගාටුවෙන් බලන් හිටියා. අපරාදේ අපේ කණ්ඩායමේ හැමදෙනාටම වගේ ඒ බෝල වලට ගහන්න බැහැ. එය හරි උඩින් බෝලේ එවන්නේ. අපේ කණ්ඩායමේම සාමාජිකයෙක් වුනාට කිවට පිළිගන්නේ නැහැනෙ. කොහොමහරි තරඟේ ඔහොම යද්දි මමත් වෙනුවට දිවුවා. ඒත් මට ලගටම ඇවිත් බොලෙන් ගැහුවා. මම හිමින් දුවපු නිසා එහෙම නෙවේ. බෝලේ ලඟට වැටිලා තියෙන්නේ.

අපි අමාරුවෙන් ලකුණු 5ක් ගත්තා. ඉන්පස්සේ අපේ පන්දු රැකිමේ වාරය. අපි සෙල්ලෙම් කලේ එල්ලේ. නැතිනම් ඔයාලා හිනා වෙවි ලකුණු 5ද ගත්තේ කියලා. අපි පන්දු රකින්න ගිහින් මම ලස්සනට අතටම ගත්ත කැච් එකක් අතෑරියා. අනේ අතෑරියා නෙවේ ඇගිලි වල රැදුනේ. ඉතින් බෝලේ ලෙස්සල ගියා. කොහොමහරි අපි පැරදුනා. එයාලා තව බෝල 9 තියෙද්දිම ලකුණු 5 ගැහුවා. ආ මට කියන්න අමතක වුනානේ අපේ ලොකු සරුත් සෙල්ලම් කලා නිල් පාටින්.

එහෙම ඉතින් අපේ සෙල්ලම ඉවර වුනා. ක්‍රීඩාගාරයට ගිහින් ටිකක් මහන්සි ඇරලා. ආයෙමත් පැවිලියන් එක පැත්තේ ගියා. ඔන්න එතකොට තමා කට්ටියගේ විවේචන. මම හොඳට දුවනවා කියලා අපේ හැමෝම කිවා. ඒකනම ආඩම්බරයක්. ඒත් ඉතින් කැච් එක මිස් කරපු එකට කිවානේ මම බෝලේ අල්ලද්දි බර වැඩියි කියලා හිතුන නිසා අතෑරියා කියලා. මක් කරන්නද...  ඔන්න ඔහොම තමා මම ඉස් ඉස්සෙල්ලාම එල්ලේ ගැහුවේ.

ඉන්පස්සේ දාඩියත් එක්ක ආයෙම සාරිය අදින්න බැරි නිසා මමත් අපේ අනිත් අයත් බොටම් එකයි ටී ෂර්ට් එකයි පිටින්ම ඉදලා ගෙදර යන්න හිතුවා. කොහොමහරි මම බෑග් එක ගන්න තනියම පැවිලියන් එකට ගියා. එතන හිටි අපේ අයම මාව හරියට දැකලා නැතිව රැවටිලා ලමයෙක් කියලා. ලැජ්ජාව සගවගෙන හිටියා ඉතින්. ඉන්පස්සේ අපි හොරෙන්ම පහලට ආවා අත්සන් කරන්න. මාත් ඒ අතරේ පිටිපස්ස හැරිලා අත්සන් කරද්දි එතනට ආව මැඩම් කෙනෙක් තව ටිකෙන් අහනවා ඇයි මේ ලමයෙක් අත්සන් කරන්නේ කියලා. එයා ප්‍රසිද්ධියේ එහෙම ඇහුවේ නැති වුනාට කිවා හැමෝටම ඇහෙන්නෙ.

අනේ මම අසරණ වුන් තරමක්. හැමෝම හිනා වුනා. අයෙමත් සුදු ගවුමක් අන්දලා ඉස්කෝලේ එවන්න පුලුවන් කියලා. අපි 1.30 වෙනකම් හිටියා. ඉවර වෙන පාටක් නම් නැහැ. ඉන්පස්සේ හොර පාරකින් පැනලා ආවා. මම තව මැඩම් කෙනෙක් එක්ක කුඩේ යටින් ආවේ. එයා හිනා වෙනවා. ඔයාවනම්  අදුරගන්න එකක් නැහැ. අම්මායි දුවයි යනවා කියලා හිතයි කියලා. කොහොමහරි පිට්ටනියෙන් එලියට ගිහින් බස් හෝල්ට් එකට ගියා.

බස් එකක් එනකම් මැඩම් කෙනෙක් එක්කම සෙට් වෙලා ඉද්දි ආවේ නැතිද අපේ ලොකු සෑර්ගේ රොයිටර් පුවත් සේවය. ඒ තමා අපේ සර්ගේ කා.කා.ස. ජයන්ත. අනේ අපරාදේ කියන්න බැහැ. හැමදේම සර්ට කියන හොඳ සේවකයෙක්. මොනා කරන්නද ඉතින්. හිත හදාගෙන ආව මුල්ම බස් එකේ නැගලා ගෙදර ආවා.

ඔන්න ඔහොමයි මගේ ගුරු ජීවිතයේ මුල්ම ක්‍රීඩා අත්දැකිම...

2013/01/25

නුඹම පමණයි සැමදා.......

සිතිවිලි තනිවී...... සිතෙහිම සිරවී............
තනිවන රැයක මෙසේ.......
සුසුමක සිහිලේ...... නෙතු යුග පියවා........
සැතපී සිටිමි මෙසේ.....
දුක සැප හමුවේ....
නොසැලී ආවේ...
තනිකම ......... පමණි මගේ.......

2012/12/27

මම අකුරු කියවූ හැටි...............

අපි පුංචි කාලේ අපිට අකුරු කියවනවානෙ. මම දන්න විදිහට නම් ඉතින් අකුරු කියවන්නේ අවුරුදු දෙක හමාර තුන විතර වයසේදි. ඒ වගේම තමා ඔය අවස්ථාවට ලගම නෑදෑයින්ට එන්න කියලා නැකතට පූජාවන් එහෙම තියලානේ කරන්නේ. මේ ඉතින් මම දන්න විදිහ. මීට වෙනස් විදිත් ඇතිනෙ.

ඔන්න එහෙනම් අකුරු කියවන චාරිත්‍ර වාරිත්‍ර ගැන කියවන්නේ නැතිව මම කතාව කියන්නම්. අපේ පවුලේ ඉන්නේ මමයි අක්කයි නෙ. ඒ කියන්නේ අපේ අප්පච්චිටයි අම්මාටයි ළමයි දෙන්නයි. ඉතින් අපේ අප්පච්චිත් ගුරුවරයෙක් විදුහල්පතිවරයෙක් නිසා හරි කැමති වෙලා තියෙනවා අක්කාටයි මටයි අකුරු කියවන එක අප්පච්චිම කරන්න. මොකද ඉතින් අප්පච්චිගේ සහෝදරයන්ගේ ළමයි හැමදෙනාටමත් අකුරු කියවලා තියෙන්නේ අප්පච්චිම තමා. එහෙම එකේ තමන්ගේ ළමයි දෙන්නාට අකුරු කියවන්න බැරි වුනොත් වැඩක් නැහැ නෙ.

ඒත් ඉතින් අපේ අප්පච්චිගේ නරක වෙලාවට අපේ අක්කාටනම් අකුරු කියවන්න බැරි වෙලා. ඒක වෙලා තියෙන්නේ මෙහෙමයි. අපේ අක්කාට අවුරුදු 5 වෙනකම්ම අප්පච්චියි අම්මායි අක්කායි ඉදලා තියෙන්නේ අපේ අම්මාගේ මහ ගෙදර. ඉතින් අක්කාට අකුරු කියවද්දි අම්මාගේ අක්කාටත් එන්න කියලා ලේසියෙන්ම එන්න පුළුවන් නිසා. ඉතින් අප්පච්චි ඔක්කොම දේවල් සූදානම් කරලා අකුරු කියවන වැඩේ පටන් අරන්. අප්පච්චි හෝඩිපොත අරන් අක්කාට කියනවාලු
"කියන්න මගේ පුතේ අ යනු" කියලා.
අක්ක මුකුත් කියන්නේ නැතිව අර පූජාවට වටේට තියලා තියන ජාති වල හැඩ බලනවාලු.අප්පච්චි පස් හය වතාවක්ම උත්සාහ කලාලු වැඩක් නැහැ අක්කා අකුරු කියන පාටක් නැහැ. නැකත් වෙලාවත් පහුවෙන නිසා අත් ඇරල දාලා. ඊට පස්සේ අපේ ලොකු අම්මා "චම්මි.... කියන්න අ යනු..." කියලා.
අපේ අක්කාත් පට ගාලා කියලා " අ යනු " කියලා.
අප්පච්චිට හරිම දුක හිතිලා ඒත් ඉතින් මොනා කරන්නද කියලා ඉදලා.
එහෙම තම අප්පච්චිට අක්කාට අකුරු කියවන්න බැරි වෙලා තියෙන්නේ.

අපේ අක්කා ඉස්කෝලේ යන්න වයස වෙද්දි අපේ අප්පච්චිටයි අම්මාටයි අක්කාටයි අම්මලාගේ මහ ගෙදරින් යන්න වෙලා. ඒ හේතුව නම් මම ගොඩක් දන්නේ නැහැ. අම්මා කියලා තියෙන විදිහටනම් අපේ ලොකු මාමා කන්කසන්තුරේ ඉදලා එහෙ කලබල ඇතිවෙලා පවුල් පිටින් මෙහෙ ගෙදර පදිංචියට ආවාම අප්පච්චිටයි අම්මාටයි යන්න කියලා රණ්ඩු වෙලා. කොහොම හරි ඉතින් එයාලා වෙනම පදිංචියට ගිහින්.

ඔහොම ඉතින් වෙනම පදිංචි වෙලා පවුලේ අයගෙන් ගොඩක් ඈත් වෙලා තියෙනවා එයාලා. අපේ අක්කාට අවුරුදු 8ක් වෙද්දි මම ඉපදිලා තියෙන්නේ ඔහොම පවුලේ අයගෙන් ඈත් වෙලා ඒ තුන් දෙනා වෙනම සතුටින් ඉද්දි. කොහොම හරි මටත් අකුරු කියවන වයස ලං වෙලා. දැන් අත්තම්මාගේ ලොකුඅත්තාගේ බලපෑමුත් නැති නිසා අප්පච්චි ජයටම මගේ අකුරු කියවන මංගල්ලේට ලෑස්තිවෙනවාලු.

ඒ කාලේ අපි හිටියේ මාතලේ. ඒ නිසා අපේ අප්පච්චිගේ ගමට ලගයි. ඒ නිසා අප්පච්චි නිතර ගමේ ගිහින් එක එක දේවල් අක්කාටයි මටයි ගේනවා. ඔය ගේන දේවල් අපිට දෙන්නේ ටික ටිකත් නෙවේ. කොහොමහරි අකුරු කියවන්න කලිනුත් අප්පච්චි ගමේ ගිහින් බඩ ඉරිගු ගෙනත්. මට අකුරු කියවන්න කලින් දවසේ අක්කාටයි මටයි තම්බලා පිගන් දෙකකට දාලා ඉන්දවලා කන්න දුන්නා. අනේ ඉතින් මාත් පොඩ් එකා කියලා අමතක වෙලා වගේ හොදට කෑවා. ඊටත් වඩා හොදම දේ තමා අක්කායි මායි හරිම පෙරේතයි අන්නාසි වලට. අප්පච්චි එදා අන්නාසි ගෙඩියකුත් ගෙනාවා. අපි දෙන්නාට අන්නාසි ගෙඩිය කපලා දෙකට බෙදලා පිගන් දෙකකට දාලා දුන්නා. අපිට කියලත් මොනවා තේරෙනවාද අපිත් හොදට කෑවා. කොහොම හරි අක්කායි මායි එදා කිසි අවුලක් නැතිව හැමදේම කාලා හිටියා.

කොහොමහරි පහුවදා මට අකුරු කියවන නැකත. එදා උදෙන්ම අප්පච්චියි අම්මායි නැගිටලා හැමදේම ලෑස්ති කරලා. අපිවත් ඇහැරවලා මුණ සෝදවලා ඇදුම් අන්දලා වැඩේට ලෑස්ති වෙනවා. අප්පච්චි මට ගෙනපු අලුත්ම ඇදුම අන්දවලා හැඩට කොන්ඩෙ පිරලා හැඩ කලා. ඊලගට ලස්සනට පුජාවන් තියන්න සරසපු මේසේ පහන් පත්තු කරලා පූජාවන් එහෙම තියන්න ලෑස්ති වුනා. බුදුහාමුදුරුවන්ට මල් පහන් සුවද පූජා කරලා ඊලගට ගණ දෙවියන්ට සරස්වති දෙවියන්ට අදාල පූජාවන් එහෙම තිබ්බා. ඔය වැඩ ටික කරලා පන්සිල් එහෙමත් කියලා අප්පච්චි හෝඩි පොත අතට ගත්තා.

ඉන්පස්සේ අප්පච්චි හෝඩිපොතේ මුල් පිටුව පෙරලලා "අ" ලග ඇගිල්ල තියලා
"කියන්න මගේ පුතේ "අ" යනු ....."
මම නිහඬයි.
අප්පච්චි ආයෙමත් කියනවා
"කියන්න පුතේ "අ" යනු..."
මගේ කට හෙලවෙන්නේ වත් නැහැ.
අප්පච්චිත් ගේම අතාරින්නේම නැහැ. ඇයි ඉතින් එක ළමයෙක්ට අකුරු කියවගන්න බැරි වුනා. අනිත් ළමයාටවත් අකුරු කියවන එක කරන්න එපායැ.
"කියන්න මගේ පුතේ "අ" යනු... කියන්න."
ඒත් ඉතින් මම නෙවේ කියන්නෙ.
බැරිම තැන අක්කාත් කියන්න ගත්තා.
"කියන්න නංගි... "අ" යනු..."
එත් ඉතින් මම කියන්නේ කොහොමද....
අප්පච්චි ආයෙමත් කියනවා
"මගේ හොද පුතානේ කියන්නකො "අ" යනු....."

ඒ පාරනම් මගේ කට ඇරුනා...
"මට බෑ අප්පච්චි......" කියලා මම ඇඩුවා.
අප්පච්චිට කවදාවත් නැතිව තරහා ගියා හොදටම. මගේ පස්සට දෙකක් ගහලා ඇද උඩට විසි කරලා දැම්මා. ඉන් පස්සේ අප්පච්චි එලියට ගියා. ඒ වෙලාවේ තමා අප්පච්චි දැකලා තියෙන්නේ අප්පච්චිගේ සරමේ මම ඉදන් හිටි තැන මොනාද ගෑව්ලා තියෙනවා. ඉන් පස්සේ අප්පච්චි අයෙමත් ඇවිත් මාව අරගෙන බලලා කලිසම ගලවලා බලලා.

අනේ අසරණ මට වෙලා තියෙන්නේ කලින් දවසේ කාපු දේවල් දිරවගන්න බැරිව බඩේ අජීර්ණයක් වෙලා බඩ බුරුලට ගිහින් ඇදන් හිටි ඇදුමේම. කොහොමහරි එදා මගේ අකුරු කියවිල්ල ඉවර වුනා. මම අ යන්න කියන්න කට ඇරියේවත් නැහැ. කොටින්ම කිවොත්  මම අකුරු කියවලා නැහැ.

ඔන්න ඔහොමයි මම අකුරු කියෙව්වේ. අහ් මම අකුරු කියෙව්වේ නැහැනේ..
මට නැකතට අකුරු කියවන්න ගිහින් වුනේ ජර මරයක්....... කොහොමත් ඉතින් මගේ ජීවිතේ තියෙන්නේ හරි අමුතු සිදුවීම්නේ....

2012/12/11

මම ලිඳට පනිනවෝ...... (ජබෝ....ස්......)

ගොඩක් දවසකට පස්සේ මතක් වුනා මම පොඩි කාලේ කරපු දඟ වැඩක්. ඒක මතක් වුනෙත් ඔය සිදුවීමට අදාල ලිඳ දැක්කා ගොඩක් දවසකට පස්සේ ගෙදර පිටිපස්සේ මිදුලට ආව නිසා. දැන් ඔයාලා හිතින් මවා ගන්න එහෙම එපා ලොකු පිටිපස්සේ මිදුලක්.. අපේ ඉඩම පොඩියි ඒත් මම පිටිපස්සේ කොටසට යන්න කැමති නැහැ. හේතුව ඉතින් එහා පැත්තේ ගෙදර අන්කල් හැමවෙලේම ඉන්නේ එතන. මම එයාට කැමති නැහැ නේ. අනම් මනම් කතා නතර කරලා කතාව කියන්නම්.

අපි දැන් ඉන්න ගෙදරට ආපු අලුත තමා මේ සිදුවීම වුනේ. අපි මෙහේ පදිංචියට එද්දි ගෙදරට ටැප් වතුර තිබුණේ නැහැ. ඒ කියන්නේ පාරෙන් වතුර අරන් නැහැ. අපි වතුර ගෙනාවේ අපේ ගෙදර උඩහා ගෙදරින්. ඒ උඩහා ගෙදර හිටියේ අපේ අම්මාගේ ලොකු මාමා සහ නැන්දා. එයාලාගේ පුතාලා දෙන්නාගෙන් එක්කෙනෙක් බැදලා australia වල අනිත් පුතා බැදලා කොළඹ පදිංචිය. දුව බැදලා නැහැ ඒ වෙද්දි. ටිකක් වයසට ගිහින් එයා ඒ වගේම හරි අමුතුයි. කොහොම හරි මුල් කාලේ වතුර එහෙන් ගේන එක කරදරයක් නැති වුනාට ටිකක් කල් යද්දි හරි කරදරයි. එලියේ ටැප් එකෙන් වතුර පුරවද්දි ඒ ලොකු අත්තා වතුර වේගය අඩු කරනවා. එතකොට ඉතින් පැයක් විතර ඉන්න ඔනේ වතුර පිරෙනකම්.

ඔය කරදරේ ඉවසන්න බැරි නිසා අම්මායි අක්කායි තීරණය කලා අපේ වත්තේ තිබුණ අත් ඇරලා දාපු ලිඳ සුද්ද කරලා හෝදන වැඩ වලට ගන්න. බොන්න විතරක් එහෙන් වතුර ගමු කියලා. ඔය කාලේ ඉතින් මම පොඩි ළමයා. මම 2 වසරෙන් හොරෙන් පැනලා 3 වසරේ ඉන්න වයසේ. අපි ලිඳ හොදට සුද්ද කරලා පාවිච්චියට ගත්තා.

අපේ අම්මා අපිත් එක්ක ඉන්නේ සෙනසුරාදා ඉරිදා විතරනෙ. අනිත් දවස් වල අපි කලින් ඉස්කෝලේ ඇරිලා ආවාට අම්මා එද්දි ටිකක් හවස් වෙනවා. අපි එහෙට ඇවිත් ටික කාලයක් ගියා. ඔහොම ඉද්දි උඩහා ගෙදර අත්තම්මාට අපේ අම්මා නැතිවම බැහැ. එයා හැමවෙලේම අපේ අම්මාට උඩ ඉදන් අඩගහනවා බබෝ බබෝ කියලා. ඔය ඒ අත්තම්මා බබෝ කියන්නේ මට. මම ඉස්සරහා මිදුලට අවාම කියනවා අම්මාට එන්න කියන්නකො කියලා. ඉතින් අපේ අම්මාත් යනවා. නොගිහින් බැහැනෙ. අම්මා එන්කම් ඉස්කෝලේ ඇරිලා ආවාම අපිව බලාගන්නේ අත්තම්මානෙ.

ඉතින් ඔහොම කතා කලාම අපේ අම්මාත් ගිහින් සෑහෙන වෙලාවක් කතා කර කර ඉන්නවා. ඉතින් හැමදාම මම සිය පාරක් විතර අම්මාට කතා කලාම තමා අම්මා ගෙදර එන්නේ. ඔය වැඩේට මට ඉතින් හරි තරහයි. ඉතින් ඔහොම දවසක් අම්මා අත්තම්මා එක්ක කතා කර කර හිටියා. මම හතර පස් වතාවක් අම්මාට එන්න කිවා. අම්මා එන්නම් කිය කිය කතාව. මම ගේ වටේ ගියා ටිකක් කල්පනා කලා. මගේ ටිකිරි මොලේට හොඳ අදහසක් ආවා.

"අම්මා..... එන්නකෝ....... ඔයා ආවේ නැතිනම් මම ලිඳට පනිනවා......
එකයි.... දෙකයි..... තුනයි...... "
ජබෝ......ස්

අම්මා අඩි දෙකට ලිඳ ලග එබිලා බැලුවා ලිඳ ඇතුල පෙන්න නැහැ ඔලුගෙඩියක්. එත් වතුරට යමක් වැටිලා හෙලවෙන විදිහ පෙනවා. අම්මා අඩන්න ගත්තා.
"අනේ මගේ පොඩි පුතේ...... ඇයි අම්මාට එහෙම කලේ.....
මම ඔයාවයි අක්කාවයි බලාගන්නේ කොයි තරම් අමාරුවෙන්ද...."

ඔහොම කිය කිය අඩනවා. අක්කාත් සද්දෙට දුවගෙන ඇවිත් ලිඳ ලග. ඒ ලිඳට පැන්නොත් ආයේ ගොඩ ගන්නවා බොරු. හේතුව ඉතින් ගොඩක් ගැඹුර ලිඳක් නෙ. අක්කාත් හොදටම අඩනවා. එයාගේ එකම නංගිනෙ. අම්මාටයි අප්පච්චිටයි කියලා කියලා ගෙන්න ගත්ත. මටත් හරි දුකයි දැන් ඒ දෙන්නා අඩද්දි. මම හෙමින් සීරුවේ ලිඳ පිටිපස්සේ ඉදලා හෙමිට නැගිට්ටා. අම්මා දැක්කා මාව.

"පොඩි පුතේ ඔයා ඔතන එතකොට...." අම්මා එහෙම් කියලා ලිඳ ඇතුල බැලුවා.
අක්කාත් මට ඔරවලා "නංගි ඔයා මොකක්ද ඒ කරපු වැඩේ...."
දැන් කොහොමත් බැනුම් අහගන්න වෙනවා කියලා දන්නවානේ. ඉතින් මම බොහොම හෙමින් ඇත්ත කියන්න පටන් ගත්තා.

"අම්මා...... මම අම්මාට කතා කලාට කතා කලාට එන්නේ නැහැනෙ. අත්තම්මා එක්ක කතා කර කර ඉන්නවානෙ. ඉතින් මම තරහට මම ලිඳට පනිනවා කියලා මෙතන තිබුණ ගල ලිඳට දැම්මා. එතකොට සද්දෙට අම්මා එනවානෙ......"
මම කියාගෙන කියාගෙන ගියා.
අම්මායි අක්කායි හොදටම තරහෙන් පුපුරනවා.
"ඔයා පැන්නා කියලා හිතලා මමත් දුවගෙන ආපු ගමන් ලිඳට පැන්නා නම් මොකද කරන්නේ" අම්මා එහෙම ඇහුවා.

අම්මා එහෙම ඇහුවාම මට දෙන්න උත්තරයක් තිබුනේ නැහැ.
"එනවා යන්න ගෙදර...." අම්මා තරහින් එහෙම කියලා මාව අතින් ඇදගෙන ගිහින් ගෙට දැම්මා.

ඉන්පස්සේ පේර කෝටුවක් කඩාගෙන ඇවිත් දොරවල් දෙක වහලා හොදටම ගැහුවා. ආයේ එහෙම වැඩක් කලොත් හම ගහනවා කියලා බැන බැන ගැහුවා. මට කවදාවත්ම අම්මා එහෙම ගහලා නැහැ.
මම හොදටම ගුටි කෑවා අයෙම එහෙම වැඩක් කරන්නේ නැති වෙන්නම. කොහොම හරි අම්මා ගහන එක නතර කලා දුක හිතුන නිසා.

ඊට පස්සේ මට ලිඳ ලගට යන එක තහනම් කලා. අම්මා හරි අක්කා හරි නැතිව තනියෙන් ලිඳ ලගට ගියොත් පොලිසියට අල්ලලා දෙනවා කිවා. පොඩි මම පොලිසියට තියන බයට අයෙම ලිඳ ලගට ගියෙ නැහැ.
ඔන්න ඔහොම තමා මම ලිඳට පැන්නේ. අදටත් ඒ ලිඳ තියෙනවා. නමුත් දැන් ඒ හරියේ ගෙවල් ගොඩක් හැදිලා නිසා පාවිච්චි කරන්නේ නැහැ.

එදා ලිඳට ඇත්තටම පැන්නා නම් අද මෙහෙම කියන්න මම නැහැනෙ ඉතින්.....

2012/12/06

අමාවක...........

අමාවක දා රෑට එකළු කරනට
අඹර....
නැතිමුත් සුපුන්.... සඳ.....
නැත..... කිසිදාක.....
අමාවක....
මසිත් අහසට.....
එකළු කරනට......
නුඹට....... හැකි නිසා
සුපුන්... සඳ වී....
මසිත් අහස.....