2012/12/11

මම ලිඳට පනිනවෝ...... (ජබෝ....ස්......)

ගොඩක් දවසකට පස්සේ මතක් වුනා මම පොඩි කාලේ කරපු දඟ වැඩක්. ඒක මතක් වුනෙත් ඔය සිදුවීමට අදාල ලිඳ දැක්කා ගොඩක් දවසකට පස්සේ ගෙදර පිටිපස්සේ මිදුලට ආව නිසා. දැන් ඔයාලා හිතින් මවා ගන්න එහෙම එපා ලොකු පිටිපස්සේ මිදුලක්.. අපේ ඉඩම පොඩියි ඒත් මම පිටිපස්සේ කොටසට යන්න කැමති නැහැ. හේතුව ඉතින් එහා පැත්තේ ගෙදර අන්කල් හැමවෙලේම ඉන්නේ එතන. මම එයාට කැමති නැහැ නේ. අනම් මනම් කතා නතර කරලා කතාව කියන්නම්.

අපි දැන් ඉන්න ගෙදරට ආපු අලුත තමා මේ සිදුවීම වුනේ. අපි මෙහේ පදිංචියට එද්දි ගෙදරට ටැප් වතුර තිබුණේ නැහැ. ඒ කියන්නේ පාරෙන් වතුර අරන් නැහැ. අපි වතුර ගෙනාවේ අපේ ගෙදර උඩහා ගෙදරින්. ඒ උඩහා ගෙදර හිටියේ අපේ අම්මාගේ ලොකු මාමා සහ නැන්දා. එයාලාගේ පුතාලා දෙන්නාගෙන් එක්කෙනෙක් බැදලා australia වල අනිත් පුතා බැදලා කොළඹ පදිංචිය. දුව බැදලා නැහැ ඒ වෙද්දි. ටිකක් වයසට ගිහින් එයා ඒ වගේම හරි අමුතුයි. කොහොම හරි මුල් කාලේ වතුර එහෙන් ගේන එක කරදරයක් නැති වුනාට ටිකක් කල් යද්දි හරි කරදරයි. එලියේ ටැප් එකෙන් වතුර පුරවද්දි ඒ ලොකු අත්තා වතුර වේගය අඩු කරනවා. එතකොට ඉතින් පැයක් විතර ඉන්න ඔනේ වතුර පිරෙනකම්.

ඔය කරදරේ ඉවසන්න බැරි නිසා අම්මායි අක්කායි තීරණය කලා අපේ වත්තේ තිබුණ අත් ඇරලා දාපු ලිඳ සුද්ද කරලා හෝදන වැඩ වලට ගන්න. බොන්න විතරක් එහෙන් වතුර ගමු කියලා. ඔය කාලේ ඉතින් මම පොඩි ළමයා. මම 2 වසරෙන් හොරෙන් පැනලා 3 වසරේ ඉන්න වයසේ. අපි ලිඳ හොදට සුද්ද කරලා පාවිච්චියට ගත්තා.

අපේ අම්මා අපිත් එක්ක ඉන්නේ සෙනසුරාදා ඉරිදා විතරනෙ. අනිත් දවස් වල අපි කලින් ඉස්කෝලේ ඇරිලා ආවාට අම්මා එද්දි ටිකක් හවස් වෙනවා. අපි එහෙට ඇවිත් ටික කාලයක් ගියා. ඔහොම ඉද්දි උඩහා ගෙදර අත්තම්මාට අපේ අම්මා නැතිවම බැහැ. එයා හැමවෙලේම අපේ අම්මාට උඩ ඉදන් අඩගහනවා බබෝ බබෝ කියලා. ඔය ඒ අත්තම්මා බබෝ කියන්නේ මට. මම ඉස්සරහා මිදුලට අවාම කියනවා අම්මාට එන්න කියන්නකො කියලා. ඉතින් අපේ අම්මාත් යනවා. නොගිහින් බැහැනෙ. අම්මා එන්කම් ඉස්කෝලේ ඇරිලා ආවාම අපිව බලාගන්නේ අත්තම්මානෙ.

ඉතින් ඔහොම කතා කලාම අපේ අම්මාත් ගිහින් සෑහෙන වෙලාවක් කතා කර කර ඉන්නවා. ඉතින් හැමදාම මම සිය පාරක් විතර අම්මාට කතා කලාම තමා අම්මා ගෙදර එන්නේ. ඔය වැඩේට මට ඉතින් හරි තරහයි. ඉතින් ඔහොම දවසක් අම්මා අත්තම්මා එක්ක කතා කර කර හිටියා. මම හතර පස් වතාවක් අම්මාට එන්න කිවා. අම්මා එන්නම් කිය කිය කතාව. මම ගේ වටේ ගියා ටිකක් කල්පනා කලා. මගේ ටිකිරි මොලේට හොඳ අදහසක් ආවා.

"අම්මා..... එන්නකෝ....... ඔයා ආවේ නැතිනම් මම ලිඳට පනිනවා......
එකයි.... දෙකයි..... තුනයි...... "
ජබෝ......ස්

අම්මා අඩි දෙකට ලිඳ ලග එබිලා බැලුවා ලිඳ ඇතුල පෙන්න නැහැ ඔලුගෙඩියක්. එත් වතුරට යමක් වැටිලා හෙලවෙන විදිහ පෙනවා. අම්මා අඩන්න ගත්තා.
"අනේ මගේ පොඩි පුතේ...... ඇයි අම්මාට එහෙම කලේ.....
මම ඔයාවයි අක්කාවයි බලාගන්නේ කොයි තරම් අමාරුවෙන්ද...."

ඔහොම කිය කිය අඩනවා. අක්කාත් සද්දෙට දුවගෙන ඇවිත් ලිඳ ලග. ඒ ලිඳට පැන්නොත් ආයේ ගොඩ ගන්නවා බොරු. හේතුව ඉතින් ගොඩක් ගැඹුර ලිඳක් නෙ. අක්කාත් හොදටම අඩනවා. එයාගේ එකම නංගිනෙ. අම්මාටයි අප්පච්චිටයි කියලා කියලා ගෙන්න ගත්ත. මටත් හරි දුකයි දැන් ඒ දෙන්නා අඩද්දි. මම හෙමින් සීරුවේ ලිඳ පිටිපස්සේ ඉදලා හෙමිට නැගිට්ටා. අම්මා දැක්කා මාව.

"පොඩි පුතේ ඔයා ඔතන එතකොට...." අම්මා එහෙම් කියලා ලිඳ ඇතුල බැලුවා.
අක්කාත් මට ඔරවලා "නංගි ඔයා මොකක්ද ඒ කරපු වැඩේ...."
දැන් කොහොමත් බැනුම් අහගන්න වෙනවා කියලා දන්නවානේ. ඉතින් මම බොහොම හෙමින් ඇත්ත කියන්න පටන් ගත්තා.

"අම්මා...... මම අම්මාට කතා කලාට කතා කලාට එන්නේ නැහැනෙ. අත්තම්මා එක්ක කතා කර කර ඉන්නවානෙ. ඉතින් මම තරහට මම ලිඳට පනිනවා කියලා මෙතන තිබුණ ගල ලිඳට දැම්මා. එතකොට සද්දෙට අම්මා එනවානෙ......"
මම කියාගෙන කියාගෙන ගියා.
අම්මායි අක්කායි හොදටම තරහෙන් පුපුරනවා.
"ඔයා පැන්නා කියලා හිතලා මමත් දුවගෙන ආපු ගමන් ලිඳට පැන්නා නම් මොකද කරන්නේ" අම්මා එහෙම ඇහුවා.

අම්මා එහෙම ඇහුවාම මට දෙන්න උත්තරයක් තිබුනේ නැහැ.
"එනවා යන්න ගෙදර...." අම්මා තරහින් එහෙම කියලා මාව අතින් ඇදගෙන ගිහින් ගෙට දැම්මා.

ඉන්පස්සේ පේර කෝටුවක් කඩාගෙන ඇවිත් දොරවල් දෙක වහලා හොදටම ගැහුවා. ආයේ එහෙම වැඩක් කලොත් හම ගහනවා කියලා බැන බැන ගැහුවා. මට කවදාවත්ම අම්මා එහෙම ගහලා නැහැ.
මම හොදටම ගුටි කෑවා අයෙම එහෙම වැඩක් කරන්නේ නැති වෙන්නම. කොහොම හරි අම්මා ගහන එක නතර කලා දුක හිතුන නිසා.

ඊට පස්සේ මට ලිඳ ලගට යන එක තහනම් කලා. අම්මා හරි අක්කා හරි නැතිව තනියෙන් ලිඳ ලගට ගියොත් පොලිසියට අල්ලලා දෙනවා කිවා. පොඩි මම පොලිසියට තියන බයට අයෙම ලිඳ ලගට ගියෙ නැහැ.
ඔන්න ඔහොම තමා මම ලිඳට පැන්නේ. අදටත් ඒ ලිඳ තියෙනවා. නමුත් දැන් ඒ හරියේ ගෙවල් ගොඩක් හැදිලා නිසා පාවිච්චි කරන්නේ නැහැ.

එදා ලිඳට ඇත්තටම පැන්නා නම් අද මෙහෙම කියන්න මම නැහැනෙ ඉතින්.....

3 comments:

  1. ගොඩ දවසකින් මේවාගේ එකක් කියෙව්වේ
    දැන් මෙව්වා කියවන්ඩ ලැබෙන්නේ අඩුවෙන් බ්ලොග් වල

    මම අහල පහල හිටියානං මා ගානෙත් හත අටක් අම්මට කියලා දෙවෝනවා

    ReplyDelete
  2. ළමා කාලේ ගැනු පිරිමි බේදෙකින් තොරව අපි කවුරුත් පිස්සු නටනවා. ඒක සාමානයයයි.
    නමුත් අපි දැන් හිතන්න පුරුදු වෙලා තියෙනවා "අපේ වැඩිහිටි පරම්පරාව ඒ අවස්ථා වලදී හැසිරුණු විදිහ වැරදි,
    ඒ අය ඊට වැඩ පුළුල් කොනෙකින් මේ ප්‍රශ්න දිහා බැලිය යුතුව තිබුන,
    එහෙම උනානම් තත්වේ මීට වඩා සුබදායි වෙන්න තිබ්බා" වගේ දේවල්,
    මේක කියවද්දී මට මතක් වෙන්නේ මට කුඩා කල මගේ ලෝකය තුල විප්ලවකාරී චරිතයක් වූ මගේ වැඩිමහල් සහෝදරයාව,
    මට මතකයි එයා ගැටවර වියේදී එයාට තිබු අපලයකට(දෙමාපියන්ට හා ජෝතිෂ්‍යවේදීන්ට අනුව) ප්‍රතිකර්මයක් වශයෙන් අපේ දෙමාපියන් සුරයක් ගෙලලාගන්න කී මොහොතේදී එයා ඊට දැක්වූ ප්‍රතිවිරෝදය. නමුත් අවාසනාවකට එයාගේ වැඩිමහල් පුතාගේ බෙල්ලෙත් සුරයක් තියෙනවා.

    ඕක තමයි තත්වේ සහ මන් ඒ ගැන පුදුම වෙන්නෑ, මොකද ඒක පුද්ගල කේන්ද්‍රීය කාරණයක් නෙවෙයි සහ එක සමාජීය කාරණයක් නිසා,
    මන් හිතන්නේ, ඔයා මේ තත්වේ වෙනස් වෙන්න ඕනේ කියල හිතනවා නම් ඔයාගේ දෙමාපියන් එක්ක හෝ පුද්ගලික ජීවිතය තුල ප්‍රශ්න ඇති නොකරගෙන සමාජය වෙනස් කිරීම වෙනුවෙන් වැඩකරන්න, මොකද ඔයාගේ ලිපි කියෙවුවහම මට හිතුනේ සමාජය අර්බුදයට යෑම නිසා ඈතිවෙච්ච සමාජීය ප්‍රශ්න වලට ඔයා ඔයාගේ පුද්ගලික ජීවිතය ඇතුලේ උත්තර හොයනවා කියල, මගේ අදහස, අදහසක් ලෙස නැවත හිතල බලන්න ....

    ReplyDelete