2011/03/29

මගේ ආදර කතාව 11....

ගොඩක් දවසකට පස්සෙ ආදර කතාව ලියන්න හිතුවා. ටික දවසකට කලින්නම් හිතුනා ආයෙ කවදාවත් ආදර කතාව ලියන්නෙ නැහැ කියලා. ඒකට හේතු අහන්නනම් එපා මට උත්තර දෙන්න බැහැ. අද දවල් සිදුවුන කතාවක් නිසාත් හවස බස් එකේ එද්දි දුටු දෙයක් නිසත් පරණ ආදර මතකයක් සිහියට නැගුනා. ඒ නිසා අදත් කතාව ලියන්න හිතුවා.

එදා හරියටම මැයි මාසෙ 20 වෙනිදා. මම කලින් කිවනෙ diploma එකේ exam ඉවර වුනාම මම instructor විදිහට NIBM එකේ වැඩ කලා කියලා. මේ සිදුවීම වුනෙත් ඔය කාලෙදිම තමයි. ඒ කියන්නෙ 2007 මැයි මාසෙ 20 වෙනිදා. එදා ඉරිදා දවසක් වුනත් මට වැඩ තිබුණා. හේතුව අපිට නිවාඩු තිබුණෙ සතියෙ දවසක් සහ සති අන්තෙ එක දවසක්. ඒ මාසෙ මට නිවාඩු තිබුණෙ සිකුරාදා සහ සෙනසුරාදා. ඒ නිසා මට වැඩ කරන්න වුනා. මගෙත් එක්කම හිටි යාළුවා එදා නිවාඩු. මම දවසම කම්මැලි කමෙන් ගෙවා ගත්තා. ඒ දවස් වල මහත්තයාට තිබුණෙ Dialog සිම් එකක් මට තිබුණෙ Mobitel සිම් එකක්. කොයිතරම් කම්මැලි වුනත් කෝල් කරන්නෙ නැහැ SMS හුවමාරුව තමා කරන්නෙ. ඇයි ඉතින් ඒ දවස් වල Mobitel සිම් එකකින් Dialog සිම් එකකට කෝල් කරන එක දැලි පිහියෙන් කෝල් කරනවා වගේනෙ.

මම ඉතින් කතාව කියන්නෙ නැතිව වැල්වටාරම් කියවනවානෙ. ඔන්න ඉතින් එදා දවසම මම මහත්තයා එක්ක SMS ගනුදෙනුව‍. සාමාන්‍යයෙන් ඉරිදාට උදේ වරුව විතරයි ළමයි එන්නෙ. ඉතින් හවස් වරුවෙම මම කෙලවරක කොම්පියුටර් එකක් ලග වාඩිවෙලා Suntel wow වලින් මහත්තයාට SMS යවනවා. එයත් පිලිතුරු එවනවා. ඔහොම කාලෙ ගෙවා ගත්තා 4 විතර වෙනකම්ම. ඉන් පස්සෙ මහත්තයා ටිකක් නිදා ගන්නවා කිව නිසා මම ඒ වැඩෙත් නතර කරලා දැම්මා.
ඉන් පස්සෙ 4.30 වෙනකම් කට්ටිය එක්ක කියව කියව ඉදලා ගෙදර එන්න ආවා. වෙනදා තනියම එද්දි වාගේම මම 154 බස් එකක දෙමටගොඩට එන්න නැග්ගා. මම බස් එකට නැගලා ටික දුරක් එද්දි දන්නෙ නැති number එකකින් කෝල් එකක් එනවා. මම ටිකවෙලාවක් හිතුවා කතා කරනවාද නැතිද කියලා. කවුරු වුනත් කමක් නැහැ කියලා කතා කලා.

"හෙලෝ" මම කතා කලා.
"හෙලෝ ඔය Poo ද?" ඒ පැත්තෙන් girl කෙනෙක් කතා කරනවා.
"ඔව් ඔයා කවුද?" girl කෙනෙක් නිසා මමත් බය නැතිව කතා කලා.
"මම ශෂි ඔයා මාව දන්නවාද?" (මේ නම මම කතාවට ගත්තෙ ඇත්ත නම නෙවේ)
මට හිතාගන්න බැරි වුනා කවුද කියලා. මට නම අහලා පුරුදු නිසා මම ඇහුවා ඔයා NIBM ද මට හරියටම මතක නැහැ කියලා.
"නැහැ මම නුවන්ගෙ girl" (නුවන් කියලා නම දැම්මෙ මගෙ මහත්තයාට)
මාව ගිනි ගන්නවා වගේ හැගීමක් මට දැනුනා. මට ඉන්නෙ කොහෙද කියන්නෙ මොනවාද කියලා හිතාගන්න බැරි වුනා.
" එහෙමද ඇයි ඔයා මට කතා කාලේ කොහෙන්ද මගෙ phone number එක හොයා ගත්තෙ" මම දුක upset එක පැත්තක තියලා ඇහුවා.
"මම හොයාගත්තා ම‍ට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕනෙ දැනගන්න දෙයක් තියනවා" එයා කියෝගෙන යනවා. එයාට නම් මොකද දුක මටනෙ.
"කියන්න මොනා ගැනද කතා කරන්න ඕනෙ" මම හිතින් අඩ අඩ කතා කලා.
"මට දැනගන්න ඕනෙ Poo ඔයාගෙයි නුවන්ගෙයි අතරෙ affair එකක් තියනවාද?" මම මොනවද දැන් දෙන උත්තරේ මට හිතා ගන්න බැහැ මොකද කියන්නෙ කියලා. මොනවා වුනත් ඒ ගැන කතා කරන්න එයාට අයිතියක් නැහැනෙ.
"ඔයා ඇයි එහෙම අහන්නෙ."
"ඔයාගෙ එහෙම දෙයක් තියනවා නම් කියන්න. ඔයා නුවන්ගෙ පස්සෙන් එනවලු නේද. මම එයාගෙ girl ඔයා එයාගෙන් අයින් වෙන්න. මම කවදාවත්ම එයාගෙන් අයින් වෙන්නෙ නැහැ. එයත් මගෙන් අයින් වෙන්නෙ නැහැ කරුණාකරලා ඔයා එයාගෙන් ඇත්වෙන්න........"
එයා කියාගෙන කියාගෙන යනවා. මට මතක මේ ටික විතරයි මම හිතන්නෙ මම upset ගිය තරම නිසා මට එයා කිව දේවල් වලින් බාගයක්ම ඇහුනෙ නැහැ.
"මම නුවන් එක්ක මේ ගැන කතා කරන්නම් ඔයා එයා එක්ක කියන්න එපා මා එක්ක කතා කලා කියලා." මට ඒ වෙලාවෙ කියන්න හිතට ආවෙ ඒ ටික විතරයි.
"ඇයි මට කියන්න එපා කියන්නෙ? මගෙයි නුවන්ගෙයි අතරෙ රහස් නැහැ. මම ඔයාට කතා කලා කියලා නුවන්ට කියනවා" ඒ පාර එයා මට සද්ද දාගෙන ආවා. ඒ පාර නම් මට තරහා ගියා.
"ඔයා කැමති දෙයක් කියා ගන්න මට කමක් නැහැ. ඒක මගෙයි නුවන්ගෙයි දෙයක්. මමයි එයා එක්ක කතා කරන්න ඕනෙ. එයාගෙ තීරණය දෙන්න ඕනෙ මටයි. මම එයා එක්ක කතා කරන්නම්. මම තියනවා" එහෙම කියලා මම phone එක තිබ්බා.

මට දුක තරහා දෙකම එකතුවෙලා. මට කර කියාගන්න දෙයක් නැහැ. මට මා ගැනම හොදටම දුක හිතුනා. මම මොන මෝඩ කමක්ද මේ කර ගත්තෙ කියලා. මම බස් එකෙන් බහින තැනත් ලංවෙලා. මම station එකට ගිහින් මගෙ මහත්තයාට call එකක් ගත්තා. එයාගෙ call waiting. මම දැන ගත්තා ශෂි කතා කරනවා ඇති කියලා. මට ගොඩක් දුකයි. ඒත් මම මොනවා කරන්නද කියලා හිත හදාගෙන SMS එකක් යැවුවා මට කතා කරන්න කියලා. එතකොටම කෝච්චිය ආව නිසා මම නැගලා ගෙදර ගියා. මම රාගමින් බහිනකම්ම මගෙ මහත්තයා කතා කලේ නැහැ. මම රාගමට එද්දි අපේ ගෙවල් පැත්තට යන බස් එකක්වත් තිබුනෙ නැහැ. මම හෝල්ට් එකේ හිටන් හිටියෙත් හරි අමාරුවෙන්. මම වෙන දෙයක් වෙන්න කියලා මගෙ මහත්තයාට කෝල් කලා. දෙතුන් වතාවක් ගත්තාම තමා phone එක answer කලේ. එහෙම වෙලත් මට වචනයක්වත් කියන්න දුන්නෙ නැහැ මට බනින්න ගත්තා. අනේ මම කරපු වැරද්දක් නැහැ. මම කල එකම වැරැද්ද phone එක answer කල එක. බැනලා ඉවර වෙනකම් අහන් ඉදලා මම අන්තිමට ඇත්තටම වුනදේ කිවා. ඒත් එයාට විශ්වාස නැහැ. මම එයා‍ට කැමති තීරණයක් ගන්න කියලා phone එක තිබ්බා.

මම අමාරුවෙන් හිත තද කරන් ගෙදර ආවා. හිතේ දුක අඩුවෙන්න කියලා හයියෙන් කෑ ගහලා අඩන්න හිතුනත් අම්මාට මේ විස්තරේ කියන්න බැරිනිසා දුක තද කරන් උන්නා.
මේ සිදුවීමෙ අවසන් තීරණය ඊට පහුවදා ගත්තෙ. ඒ විස්තරේ මම ඊලග කතාවෙන් ලියන්නම්. අද කතාව දිග වැඩියි කියලා හිතෙනවා.

ප.ලි. මේකෙ මම ලියපු නම් මම හදලා දාපු නම්. මේ කතාව කියවලා මමවත් මගෙ මහත්තයාවත් වරදිකාරයෝ කියලා නිගමනය කරන්න එපා. හේතුව ආදරය ඇතිවෙන්නෙ අහම්බෙන්...
ආදරය ගැන දන්න ඔයාලා ඒ ගැන දන්නවා ඇතිනෙ...

3 comments:

  1. ඇයි අක්කාත් මහත්තයාත් වැරදි කියලා බනින් එපා කියන්නේ..එහෙම බනින්න ඕනේ නැනේ..ඔයාවත් එයාවත් වැරද්දක් කරලා නැ නේ...

    ReplyDelete
  2. ලියන්නෙ නැතුව හිතපු හේතුව මට හිතාගන්න පුළුවන්. මමත් ලියාගෙන ආපො පෝස්ට් එක පෝස්ට් පොන්ඩ් කරන්න හිතුවේ ඔය හේතුව නිසාම තමා. කොහොම නමුත් ඉක්මනින්ම ආයේ හොඳින් ලියන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  3. @ නිම්ශා
    නංගි අපි හිතලා වරදක් කලේ නැති වුනාට අපි වැරදියි.අපේ හිත්වලට ආදරය ඇති වුනාට අපිට තිබුණා බුද්ධිමත්ව ඒ ගැන හිතන්න.. ඒ නිසයි බනින්න එපා කිවෙ..

    @ lahirucc
    Thanks.. ආයෙමත් මම ආදර කතාව ලියනවා. දිගටම....

    ReplyDelete